කුඩා සියඹලාවේ සියඹලාව අනතුරේ


ලක‍ෂ සංඛාත පිරිස් කතරගම දෙවියන් වැඩ සිටින බවට විශ්වාස කරන යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක දෙකේ කුඹුක්කන් ඔය ආසන්නයේ පිහිටි මහ කැබිලිත්තේ කුඩා සියඹලාව මියයාමේ තර්ජනයකට ලක්ව ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව කියයි.

වට අඩි භාගයකින් පමණ යුත් මෙම කුඩා සියඹලාව මහ කැබිලිත්තේ පූජා කටයුතු සිදුකරන බිමේ පිහිටා තිබේ. මහ කැඹිලිත්තේ මහ සියඹලාවට මීටර් පනහක් පමණ දුරින් එය පිහිටා තිබේ. මේ වනවිට මෙම කුඩා සියඹලාවේ කොළ පාට අතු මැරී යමින් පවතින බව එහි ගිය බැතිමත්හුද පවසති. කුඩා සියඹලාවේ කඳ, අතු ඉති, කලූ පැහැ ගැන්වී ඇති බව ද බැතිමත්හු පවසති.

මේ සම්බන‍ධයෙන්  වනජීවී දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් භාර සහකාර අධ්‍යක‍ෂ ප්‍රශාන්ත විමලදාස මහතාගෙන් විමසූ විට ඔහු පැවසවේ එය සත්‍යයක් බවයි. සමාන්‍ය ජනයා පදිංචි ප්‍රදේශයෙන් කිලෝ මීටර් අසුවක් පමණ මහ කැලෑවේ පිහිටා ඇති මෙම මහ කැබිලිත්තේ කුඩා සියඹලාව කිසියම් දිලීරයක් හෝ පණු රෝගයක් වැළදී මෙලෙස මිය යන්නට පටන්ගෙන ඇතැයි සැක කළ හැකි බව ද සහකාර අධ්‍යක‍ෂවරයා පැවසුවේ ය.

සමහර බැතිමතුන් සමග එන කපුවන් මෙම ස්ථානයේ ඇති කතරගම දේව රූපය විවිධ තෙල් වර්ග වලින්, විවිධ කිරි වර්ග සහ රසායනික ද්‍රව්‍ය මිශ්‍ර ජලයෙන් දෝවනය කරන ජලය කුඩා සියඹලාව පාමුලට වැටී මුල් දිරා යාමට ලක්ව මෙලෙස විනාශ වෙනවා විය හැකි බවට සැකකළ හැකියැයි ද සහකාර අධ්‍යක‍ෂවරයා පැවසුවේ ය.

මෙ සම්බන‍ධයෙන් ජාතික උද්භිද උද්‍යානය දැනුවත් කර විශේෂඥයින් පිරිසක් ඉදිරි දින කිහිපය තුල එහි ගොස් කුඩා සියමලාව පරීෂා කර අවශ්‍ය පිලියම් යෙදිමට ක්‍රියා කරනු ඇති  බව ද  වනජීවී සහකාර අධ්‍යක‍ෂවරයා කීවේය.