කුඩා දරුවාට කසිප්පු පොවා කැත වැඩක් කරලා


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

දහතුන් හැවිරිදි පාසල් සිසුවකුට කසිප්පු පොවා වෙරි වූ පසු  බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළැයි කියන පුද්ගලයෙක් හලාවත උඩප්පුව පොලිසිය විසින්  සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු හතළිස් තුන් හැවිරිදි වියේ පසුවන දෙදරු පියෙකි.

මොහු ධීවර කර්මාන්තයේ නිරතව සිටින අයෙකි.

බරපතළ ලිංගික අපයෝජනයකට ලක් වූ බව කියන බාලවයස්කාර පාසල් සිසුවා පුත්තලම රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

දැඩි ආර්ථික දුෂ්කරතාවලින් පෙලෙන බව කියන මෙම සිසුවාට පොත්පත් ඇතුළු අනෙකුත් පහසුකම් ලබා දෙමින්පාසල් යාමට ආධාර උපකාර කරනු ලබන්නේ උඩප්පුව පොලිසියේ නිලධාරීන් විසිනි.

කලපුවට මාළු ඇල්ලීමට යැයි කියා සැකකරු සිසුවා කැඳවාගෙන ගොස් ඔහුට කසිප්පු පානය කිරීමට ලබා දී වෙරි වූ පසු කලපුව ඉස්මත්තේ දී බරපතල ලිංගික අපයෝජනයට ලක්කර ඇති බව පොලිසිය කියයි.

සිසුවාගේ සිරුරෙන් ලේ වහනය වීම නිසා ඔහු මේ බව මවුපියන්ට දැනුම් දී ඇත. මව සිසුවා ද කැටුව උඩප්පුව පොලිසියට පැමිණ මේ ගැන පැමිණිලි කරනු ලැබුවාය.