කුඩම්මා කොන්සල් කන්තෝරුවේ


‘ඩුබායි රැකියා නියෝජිතායතනයෙන් මට  අමානුෂිකව  පහරදී මා පඩිපෙළෙන්  තල්ලූකොට කොන්ද අත පය බිඳ දමා මහ පාරකට ගෙන ගොස් දමා   තිබියදී පාරේ සිටි මිනිසුන්   රෝහල් ගත කර තිඛෙනවා.  මෙසේ තිබියදීත් ඩුබායි කොන්සල් ජනරාල් කාර්යාලයේ  නිලධාරීන් මා වැරදි කරුවෙකු ලෙසත්  රැකියා නියෝජිතායතනය නිවැරැදි කරුවෙකු කරන්නටත් උත්සාහ ගත්තා. මගේ වාසනාවකට මෙන්  තානාපති මහින්ද බාලසූරිය මහතා ඇතුළු  නිලධාරීන් අබුඩාබි සිට එහි  පැමිණ අපේ ප්‍රශ්න වලට  පියෙකු සේ මැදිහත් වී මා හට වන්දියක්ද ලබා දී නැවත ලංකාවට එවන්න කටයුතු කළා. එසේ නොවුනා නම් මා එහිදී මියයන්නට පවා ඉඩ තිබුණා‘  යැයි  නදීකා ස්වර්ණමාලි මහත්මිය(23) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී කීවාය.

තමා මෙන්ම එරට හාම්පුතුන්ගේ සහ රැකියා නියෝජිතායතයන්ගෙන් අසාධාරණයන්ට  ලක්වූ තවත්  කාන්තාවන් පනස් දෙනෙකු පමණ ඩුබායි කොන්සල් ජනරාල් කාර්යාලයේ සිටින බවත්,  ඔවුන්ගේ ප්‍රශ්නවලට  නිලධාරීන් විසින් කඩිනම්  විසඳුම් ලබා නොදීම නිසා මාස හයක්, හතක් තිස්සේ මෙරටට පැමිණීමට නොහැකිව සිටන බවත් ඇය කීවාය.

එම  නිලධාරීන් රැකියා ඒජන්තවරුන් සමග ඇති හිතවත්කම් මත අසරනවී පිහිට පතා එන ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්  වැරදි කරුවන් කොට, නොයෙක් අසාධාරණකම් සිදුකරන බව පවසමින් මෙම කාන්තාවන් පසුගිය දිනක එහිදී උද්ඝෝෂණයක ද  නිරත වී ඇත.

පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ආචාර්ය  මහින්ද බාලසූරිය මහතා සමග   කම්කරු අංශයේ පළමු ලේකම් එම්.ඊ.ජී සමරවීර, තෙවන ලේකම් රුවන් ගුණතිලක, තානාපති කාර්යාලයේ පළමු ලේකම් විශ්ව දිසානායක සහ ලිපිකරු දුමින්ද සමරසිංහ යන මහත්වරු එහි ගොස්   කාන්තාවන්ගේ ප්‍රශ්න විසදීම සඳහා මැදිහත් වී ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස නදීකා ස්වර්ණමාලි  මහත්මිය ඇතුළු අසාධාරණයට ලක්වූ  තිදෙනෙකුගේ ගැටළු සඳහා කඩිනමින් විසඳුම් ලබා දීම   මත යළි  දිවයිනට පැමිණීමට අවස්ථාව උදා විය.

එක් දරු මවක වූ නදීකාගේ දෙමව්පියෝ ධීවර කර්මාන්තය ආශ්‍රීතව රැකියාවේ  යෙදෙති.   ඉන් ලැබෙන සොච්චම් මුදලින් එදා වේල පිරිමසා ගැනීම හැරෙන්නට ඉන් එහා කළ හැකි දෙයක් නොවීය. තමන්ටම යැයි  කියා නිවසක් තනා ගැනීමත්, දියණියට හොද අධ්‍යාපනයක් ලබා දීමත් ඇගේ  සිහින  විය. නදීකා මැද පෙරදිග පැමිනෙන්නේ ඒ අනුවය.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී නදීකා හැඩූ කඳුලින් ඈ විදි දුක්  පැවසුවාය.

‘ ඩුබායි වල සේවය කරන අපිට කරදරයක් වුණාම යන්න තියෙන එකම තැන කොන්සල් ජනරාල් කාර්යාලයයි. ඒත් එතන මහ අවුල් ජාලාවක්. විවිධ ප්‍රශ්න වලට මැදිවුන කාන්තාවන් 50 ක් විතර නැවත ලංකාවට එන්න විදිහක් නැතිව  එතන හිරවෙලා හිටියා. 

 නිලධාරීන්ට ඒ ළමයින්ගේ ප්‍රශ්න විසඳලා ඉක්මනින්  ලංකාවට එවන්න උවමනාවක් නැද්ද කියලත් හිතෙනවා.  ඔය අතරේ තමයි අබුඩාබිවල ඉදලා තානාපති ආචාර්ය  මහින්ද බාලසූරිය මහතා ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙක්  එතනට ගිහින් අපේ ප්‍රශ්න ගැන සාකච්ඡා කරලා යම් යම් සෘජු තීරණ ගත්තේ. එතුමා එහෙම නොගියා නම් මට කවදාවත් නැවත ලංකාවට එන්න ලැබෙන්නේ නැහැ.

එතන ප්‍රශ්න ගොඩක්  තියෙනවා. අපි රට යන්නේ නැති බැරිකමට කීයක් හරි හොයාගෙන ඇවිත් ගෙයක් දොරක් හදාගෙන හොදින් ජීවත් වෙන්නයි. නැතුව කා එක්කවත් රංඩු වෙන්නවත් මේ විදියට කොන්ද අතපය කඩාගෙන ආපසු එන්නවත් නෙමෙයි.

අපි අසරණ වුනාම අපේ දෙමව්පියන් මෙන් අපේ පිහිටට ඇත්තේ  කොන්සල් ජනරාල් කාර්යාලයයි. නමුත් එතන ඉන්න සමහර  නිලධාරීන් අපේ ප්‍රශ්න දිහා සානුකම්පිතව බලන්නේ නැහැ. ඔවුන් අපේ පැත්ත ගන්නේ නැහැ. අපිට සාධාරණයක් ඉටුකර දීමට උත්සහ ගන්නේ නැහැ. 

නමුත් මම ඉතාමත්ම ගෞරවයෙන් මතක් කරන්නේ අබුඩාබි වල තියෙන තානාපති කාර්යාලයේ මහින්ද බාලසූරිය අපේ තානාපතිතුමා,  කම්කරු අංශයේ පළමු ලේකම් එම්.ඊ.ජී සමරවීර, තෙවන ලේකම් රුවන් ගුණතිලක, පළමු ලේකම් විශ්ව දිසානායක සහ ලිපිකරු දුමින්ද සමරසිංහ යන මහත්වරු පැමිණ අපේ ළමයිගේ ප්‍රශ්න දවසින් දෙකෙන් විසඳුවා. ඔවුන් වගකීමත් ගත්තා.

කොන්සල් ජනරාල් කාර්යාලයේ නිලධාරීන් මාස ගනන් එම ප්‍රශ්න තියාගෙන සිටින නිසා ලංකාවට එන්න විදිහක් නැතිව මාස හත අට එතන හිරවෙලා ඉන්න ළමයි ඉන්නවා.  වැරදිකරුවෙක් ලෙස තීන්දු කර සිටි මා නිර්දෝශී බවට ඔප්පු කළෙත් මේ මහත්වරු. ඒ  වගේම  රුපියල් ලක්ෂ දෙකහමාරක වන්දියක් අරන් දීලා මගේ අසනීප සුවකරලා ලංකාවට යහතින් එන්න කටයුතු සිදු කළෙත් ඒ මහත්තුරු. ඔවුන්ට මම දෙවියන්ට සේ හිසනමා ආචාර කරනවා.

ඇය එසේ කියද්දී එය සැබෑවක් බව පසක් වන්නේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී බොහෝ විට අත පය කඩාගෙන, කිසිදු වන්දියක් නොලබා මෙරටට එන කාන්තාවන් අනන්තවත් හමුවන බැවිණි.

ඔවුන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී බැන වදිමින් ශාප කරමින් යන්නේද  කිසිදු නිලධාරියෙක් තමන්  වෙනුවෙන් සාදාරණයක් ඉටු කිරීමට ඉදිරිපත් නොවූ බව කියමිනි.

අබුඩාබි ආයතනයක බලෙන් සිරකරගෙන වැඩගත් කාන්තාවන් පිරිසක් වෙනුවෙක් එරට කම්කරු උසාවියේ නඩු පවරා, ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා දී නැවත ලංකාවට එවීමට ද අබුඩාබි තානාපති කාර්යාල නිලධාරීහු මීට පෙර ක්‍රියා කළහ.

බොහෝ දෙනා කියනුයේ ලැටළු ඇති අනෙක් රටවලට ද මෙවැනි නිලධාරීන් යැවිය යුතු බවයි.
 
 නදීකා ඩුබායි  ගොස් ඇත්තේ  දරුවන් දෙදෙනෙකු සිටින නිවසක සේවය කිරීමේ පදනම මත වුවද ඇයට  දරුවන් 14 දෙනෙකු සිටින විශාල මන්දිරයක සේවය කිරීමට සිදුව ඇත. විවිධ ගැටළු මැද එම  නිවසේ ඉතාමත් ආයාසයෙන් සේවය කළ ඇය  එහි වැඩ කළ  නොහැකිම තැන එරට රැකියා නියෝජිතායනය වෙත පැමිණ ඇත.
එතැන් සිට මහින්ද බාලසූරිය මහතා ඇතුළු පිරිස හමුවන තුරු තමාගේ වයසට ඔරොත්තු නොදෙන තරම් දුක් කම් කටොළු රැසක් විඳි බව ඕ කීවාය.

‘මම 2012 ඔක්තෝම්බර් 24 මීගමුවේ රැකියා නියෝජිත ආයතනයකින් ඩුබායි වල ගෘහ සේවිකාවක් ලෙස සේවයට ගියා. මෙහෙන් යනකොට මට කිව්වේ මාව යවන ගෙදර ළමයි දෙන්නෙක් බලා ගන්නයි තියෙන්නේ කියලා. ඒත් එතන ළමයි 14 දෙනෙක් බලාගන්න මට සිදුවුනා. ඒක මහා විශාල නිවසක්. ඒත් මම දවස් 25 ක් බොහෝම අමාරුවෙන් ඒ ගෙදර වැඩ කළා. ඉන් පස්සේ ඒ ගෙදර අයට මම කිව්වා මට සේවය කරන්න අමාරුයි කියලා. ඔවුන්   මාව එරට රැකියා නියෝජිතායනයට බාර දුන්නා.

එතන බාරව සිටින කාන්තාව රැකියා නියෝජිතායතනය තුළදීම මට අමාණුෂික ලෙස පහර දුන්නා. එදින රාත්‍රියේ ඇය මා  ඇගේ නිවසට එක්කරගෙන ගියා. එහිදීත් අමාණුෂික ලෙස පහරදී අප්‍රසන්න වචනයෙන් මට බැණ වැදුනා. මට පහරදී   පඩිපෙලෙන් තල්ලූ කරලා දැම්මා. එවිට මගේ කොන්ද කැඩී අතක් සහ කකුලකට හානි සිදු වුණා.

එම අවස්ථාවේ මා සිහිසුන්ව බිම ඇද වැටුණු පසු ඔවුන් මා  මහ පාරට ඇද දමා ගොස් තිඛෙනවා. පසුව  පාරේ ගිය පුද්ගලයන් පිරිසක්  මා රෝහලට ඇතුළත් කර තිබෙනවා. මට සිහිය ආවේ රෝහලේදී. එවිටයි මා සිදුව ඇති දෑ දැනගත්තේ.

පසුව මගේ කොන්ද බිදී ඇති බව වෛද්‍යවරු පැවසූවා. ඒ සඳහා මට සැත්කමක් සිදු කළා. මා   සුව වූ පසු ඩුබායි කොන්සල් ජනරාල් කාර්යාලයට ගියා.  එතැන සිටි  නිලධාරීන් මා හට  වැරදි පටවා නිර්දෝශී මා වැරදිකරුවෙකු  බවට පත් කළා.   රැකියා නියෝජිත ආයතනයේ කිසිදු වරදක් නැති බවත්, සියලු වැරදි මගේ බවටත්, රැකියා නියෝජිත ආයතනයට බොරු චෝදනා එල්ල නොකරන ලෙසත් ඔවුන් මට පැවසුවා.

මට සාධාරණයක් කරන ලෙස ඉල්ලා මා ඔවුන්ගේ දෙපා මුළ වැද වැටුනා. එම නිලධාරීන් මට කීවේ රැකියා නියෝජිතායතනයට රුපියල් ලක්ෂ තුනක මුදලක් ලබා දෙනවා නම් ගෙදර යා හැකි බවයි.
මා ප්‍රතිකාර ලබන කාලය තුලදී ඔවුන් ගේ කීමට මා ලිපි ලේඛන ද අත්සන් කළා.  පසුව ඔවුන් කියන සෑම දෙයකටම එකග වීම නිසා  රැකියා නියෝජිත ආයතනය නිර්දෝශ බවත්, මා වැරදිකරුවෙකු බවත්  ඔවුන් ඔප්පු කළා.

කොන්සල් ජනරාල් කාර්යාලයේ මා වගේ විවිධ ගැටළු තිබුණ තවත් 50 ක් විතර හිටියා. සමහර අයගේ  ප්‍රශ්න ගොඩ ගැහිලා. නඩු තියෙන අය හිටියා. පඩි නොලැබුන අය හිටියා. රැකියා නියෝජිත ආයතන සමග ගැටළු නිරාකරණය කර ගත යුතු අය  හිටියා.

ඒත් ළමයින්ගේ ලිපිගොනු වලට අවශ්‍ය ලේඛණ දමා ඒවා ඉක්මනින් ඉවර නොකිරීම  නිසා සමහර ළමයි මාස 6 ක් 7 ක් තිස්සේ ලංකාවට එන්න විදිහක් නැතුව එතන හිරවී සිටිනවා.

මේ අසාධාරණ කම් නිසා    හැමෝම දවසක් උද්ඝෝෂණය කළා. එදා ඔවුන් අපට බැණ වැදුනා.  ඔය අතරෙදි අබුඩාබිවල සිට තානාපති මහින්ද බාලසූරිය මහතාත්, කම්කරු අංශයේ පළමු ලේකම් එම්.ඊ.ජී සමරවීර, තෙවන ලේකම් රුවන් ගුණතිලක, තානාපති කාර්යාලයේ පළමු ලේකම් විශ්ව දිසානායක සහ ලිපිකරු දුමින්ද සමරසිංහ යන මහත්වරු පැමිණ අපේ කට්ටියගේ ප්‍රශ්න දවසින් දෙකෙන් විසඳුවා.

ඔවුන් අපේ ප්‍රශ්න ගැන අපි එක්ක සාකච්ඡාවක යෙදුනා. තානාපතිතුමා පියෙකු සේ එතන හිරවෙලා හිටිය ළමයින්ගේ ප්‍රශ්න වගේම දුක් කම් කටොළු එකින් එක විමසුවා. එවිට එතුමා දැනගත්තා අපි ප්‍රශ්න වැලක පටලැවිලා කියලා. තානාපතිතුමා සමග ආපු  සමරවීර මහත්තයත්, රුවන් මහත්තයක්  අපිට වූ අසාධාරණ කම් වලට කටයුතු කිරීමට ඉදිරිපත් වුනා. ඔවුන් අපේ සහෝදරයින් මෙන් එකිනෙකා  නිරාකරණය කිරීමට මැදිහත් වුනා.

ඔවුන් මට අමාණුෂික ලෙස පහරදුන් රැකියා නියෝජිතායය වෙත ගොස් මගේ නිවරදිභාවය  ඔප්පු කර මට සාදාරණයක් ඉෂ්ඨ කලා. මට රැකියා නියෝජිතායතනයෙන් ඩිරාම් 6500ක (රුපියල් ලක්ෂ දෙකහමාරක) වන්දි මුදලක් පවා ලබා ගෙන තානාපතිතුමා අතින් මා හට ලබා දුන්නා. ඔවුන් කළ සේවය මා ඉතා අගය කරනවා.
මේ  නිලධාරීන් අපේ රටේ උපන් අය" මොවුන් විදේශ රටක හිටියත් ඔවුන්ගේ යුතුකම රට වෙනුවෙන් ඉටු  කිරීම පිළිබඳ අපි ඉතාමත් සතුටු වෙනවා. 

  ඩුබායිවල කොන්සල් ජනරාල් කාර්යාලයේ නිලධාරීන් ඔවුන්ගේ සේවය නිසි අයුරින් ඉටු නොකිරීම නිසා තමයි මේ වගේ ප්‍රශ්න ගොඩ ගැහිලා තියෙන්නේ.

ජනාධිපතිතුමාගෙන් මෙන්ම අපේ අපේ ඩිලාන් ඇමතිතුමාගෙනුත්  මම ඉල්ලා සිටින්නේ වැඩක් කළ හැකි කොන්ද පන ඇති නිලධාරීන් ඩුබායි කොන්සල් ජනරාල් කාර්යාලයට එවන ලෙයසි.  ඒ වගේම තමයි ලංකාවේ කාන්තාවන් මැද පෙරදිග යන තරමටම ආපසු ලංකාවට එන්න සිද්ද වෙනවා.  එහෙම වෙන්නේ අපේ නිලධාරීන් ගොඩක් මේ ළමයිගේ  ප්‍රශ්න නිරාකරණය කිරීම ඉක්මනින් නොකිරීමයි.

අනිත් කාරණය වෙන්නේ ලංකාවේදි මවල පෙන්වන නිවස නෙමෙයි අපට සේවයට ලැබෙන්නේ. සමහර රටවල ගෘහ සේවය සඳහා යන කාන්තාවන්ට එසේ යාමට පෙර  තමන් යන නිවසේ විශාලත්වය, ගෙදර සාමාජිකයින් ගණන වැනි සියලු දේ දැනගෙන යන්න පුළුවන් පහසුකම්  සලසා තියෙනවා. අපේ රටෙත් එවැනි පහසුකම් ඇති කළ යුතු අතර ඒ අයුරින්ම නිවෙස් ලැඛෙනවාද යන්න පසු විපරමක් කල හැකි ක්‍රමවේදයක් සැකසිය යුතු වෙනවා. එසේම නිවෙස් වල කරදර හිරිහැර වී පැමිණෙන අය ලංකාවට හිස් අතින් ආපසු එවීමට කටයුතු නොකර ඔවුන්ට රැකියාව සඳහා වෙනත් සුදුසු ස්ථාන සපයා දිමටද කටයුතු කළ හැකි නම් එය ඉතා වටිනා දෙයක්.

අනිත් කාරණය නම් ලංකාවේ රැිකියා නියෝජිත ආයතනවල උප ඒජන්තවරුන් ඈත පිටිසර ගම් පළාත් වලට ගිහින්  අහිංසක තරුණියන්  ගෘහසේවය සඳහා එවනවා. ඔවුන්ට කිසිම දැනීමක් තේරුමක් නැති ළමයි ඉන්නවා. එවැනි අය එවනවා නම් අඩුම තරමේ මාස 06 ක වත් පුහුණුවක් ලබා දී එවිය යුතුයි.

 නදීශා සමග මෙරටට පැමිණි ශ්‍රියාණි මල්ලිකා මහත්මිය පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. ඇය ගෘහ සේවිකාවක ලෙස මෙරටින් ගියද ඇයට එරට හාමිපුතාගේ නිවසේ කොන්ක්‍රීට් ගල් ඇදීම, සිමෙන්ති, වැලි ඇදිම වැනි බර වැඩ කිරීමට සිදුවු බව ඇය කීවාය.

පාන්දර හතරට අවදි වී රට ඉඳි ගස් 450 කට වතුර දැමීමත්, වැල්ලට පෑදෙන ගල් ගැලවීම, කුකුල් කොටු සුද්ද කිරීම, තණකොල ගැලවීම, ඉවීම මෙන්ම දරුවන් බලා ගැනීම ඇයට පැවරුණ දෛනික රාජකාරී විය.
සියලූ වැඩ විනාඩි පහෙන් දහයෙන් ඉවර කළ යුතුව ඇති බවත් එසේ ඉවර කර ගැනීමට නොහැකි වූ එක් දිනක ඇයව ගෙදරින් එලියට දමා දොරවල් වැසූ බවත් ඇය කීවාය. ඉන්පසු තවත් ගෙදරක සේවය සඳහා ගොස් ඇති ඇය එම නිවසින් ඇයව තවත් නිවසකට ඩිරාම් එකලොස් දහස් පන්සීය මුදලකට යේමන ජාතික පවුලකට විකුණූ බවත් පසුව ඇය පලා ආ බවත් කීවාය.

ඇයද දිවයිනට පැමිණ තිබුනේ තානාපති මහින්ද බාලසූරිය මහතාගේ සහ සෙසු නිලධාරීන් ඩුබායි වල කොන්සල් ජනරාල් කාර්යාලයට පැමිණ කළ මැදිහත්වීම නිසා බවද කීවාය.