කී‍්‍රඩා සමාජ හයකට තීරණාත්මක විය හැකි පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලිය හෙට ඇරඹේ


තරග සැලැස්ම වෙනස් කිරීමෙන් දැඩි කථාබහට ලක්වූ 2012/2013 අන්තර් සමාජ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලිය හෙට (01) ආරම්භ වේ. කණ්ඩායම් 20 ක් සහභාගි වන මෙවර තරගාවලිය අපේ‍්‍රල් මස 7 වැනිදා අවසන් වීමට නියමිතය. පළමු සතියේ තරග යටතේ තරග 10 ක් හෙට (01) ආරම්භ වන අතර තෙදින තරග වන මෙම තරග 3 වැනිදා අවසන් වීමට නියමිතය.

නව සැලැස්මට අනුව මේ වසරේ (2012/2013) කණ්ඩායම් හයක් පහත දමා ලබන වසරේ (2013/2014) පළමු පෙළ තරගාවලියට කණ්ඩායම් 14 ක් සහභාගි වීමට නියමිතය. ඒ අනුව 2015/2016 තරග වාරය වන විට පළමු පෙළ තරගාවලියට සහභාගි වන ක‍්‍රීඩා සමාජ සංඛ්‍යාව 10 ක් දක්වා පහත වැටීමට නියමිතය.

බොහෝ පිට පළාත් ක‍්‍රීඩා සමාජ ප‍්‍රබල ක‍්‍රීඩකයන් රැසක් සමගින් මෙවර තරගාවලියට පිවිසීමට සූදානමින් සිටියි. මෙවර කාණ්ඩ දෙකෙන් කණ්ඩායම් තුන බැගින් කණ්ඩායම් හයක් පහත දැමීමට නියමිතය.  

බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩා සමාජයට වසර ගණනාවක් ක‍්‍රීඩා කළ ටෙස්ට් ක‍්‍රීඩකයන් වන ප‍්‍රසන්න ජයවර්ධන, චාමර සිල්වා, කෝල්ට්ස් පිල නියෝජනය කළ තුන් ඉරියව් ක‍්‍රීඩකයන් වන ඩිල්රුවන් පෙරේරා සහ චතුර පීරිස් යන ක‍්‍රීඩකයෝ පානදුර ක‍්‍රීඩා සමාජයට ක‍්‍රීඩා කිරීමට සූදානමින් සිටිති. ප‍්‍රසන්න ජයවර්ධන ආබාධයක් හේතුවෙන් පළමු තරගයෙන් ඉවත්ව සිටින බව ද වාර්තා වේ.

රාගම ක‍්‍රිකට් සමාජයට වසර ගණනාවක් ක‍්‍රීඩා කළ අන්තර් සමාජ ප‍්‍රබල පිතිකරු ඉන්දික ද සේරම් මෙවර මුවර්ස් ක‍්‍රීඩා සමාජයට ද, හලාවත මේරියන්ස් පිල නියෝජනය කළ ගයාන් විජේකෝන් සහ දිනුක් හෙට්ටිආරච්චි මෙවර සී.සී.සී. පිලට ද ක‍්‍රීඩා සිටිති.
තරගාවලියට සහභාගි වන කණ්ඩායම්:

‘ඒ’ කාණ්ඩය: කෝල්ට්ස්, රාගම, බ්ලූම්ෆීල්ඞ්, ලන්කන්, මුවර්ස්, යුද හමුදා, බී.ආර්.සී., සැරසන්ස්, ගුවන් හමුදා සහ පානදුර

‘බී’ කාණ්ඩය: එස්.එස්.සී., හලාවත මේරියන්ස්, ද්‍රවිඩ සංගම්, බදුරලිය, එන්.සී.සී., නාවික හමුදා, වරාය අධිකාරිය, කුරුණැගල තරුණ, සී.සී.සී. සහ ගාල්ල

හෙට ආරම්භ වන තරග

  • මුවර්ස් සහ සැරසන්ස් අතර මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී
  • බ්ලූම්ෆීල්ඞ් සහ බී ආර්. සී. අතර බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩාංගණයේදී
  • යුද හමුදාව සහ ගුවන් හමුදාව අතර පනාගොඩදී
  • පානදුර සහ ලන්කන් අතර පානදුරේදී
  • කෝල්ට්ස් සහ රාගම අතර කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී
  • එන්. සී. සී. සහ කුරුණැගල තරුණ අතර එන්. සී. සී. ක‍්‍රීඩාංගණයේදී
  • ද්‍රවිඩ සංගම් පිල සහ වරාය අධිකාරි පිල අතර පී. සරා ක‍්‍රීඩාංගණයේදී
  • නාවික හමුදාව සහ සී. සී. සී. අතර වැලිසරදී
  • ගාල්ල සහ බදුරලිය අතර ගාල්ල ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී
  • මේරියන්ස් පිල සහ එස්. එස්. සී. පිල අතර එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී