ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට දායාද වූ තවත් හැඩකාර, අපූරු ක‍්‍රීඩකයින් තිදෙනෙකු ලෙස මේ තිදෙනා නම්කළ හැකිය. ශ්‍රී ලංකාවේ ක‍්‍රිකට් අනාගතය උදෙසා ලෝක ක‍්‍රිකට් කරළියේ විශේෂිත යමක් කළ හැකි මේ යොවුන් ක‍්‍රීඩකයින් තිදෙනා ඔබට අමුත්තන් නොවේ. සචිත‍්‍ර සේනානායක, දිමුත් කරුණාරත්න, ඇන්ජෙලෝ පෙරේරා ඒ තිදෙනාය. ක‍්‍රිකට් පිටියේ කාර්යබහුල ජීවිතයෙන් මඳක් බැහැරව සිටි විරාමයකදී මේ තිදෙනා එක්කාසු කර ගැනීමට අපට හැකිවුණා. සඳැල්ලට ආ මේ හැඩකාරයින් තිදෙනා ගැන අප විස්තර ගෙන එන්නේ මේ විදියටයි.
සචිත‍්‍ර සේනානායක හෙවත් කවුරුත් ආදරයට ආමන්ත‍්‍රණය කරන ”සචී” ගම්පහ බණ්ඩාරවත්ත පාසල සහ ඉන්පසුව කොළඹ ආනන්ද මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු ලෙස ශ්‍රී ලංකා කණඩායමට ඇතුළත් වූයේ 2010 වසරේදීය. ”සචී”ගේ බිරිඳ ඉරේෂාය.
මේ තිදෙනාගෙන් විවාහ දිවියට ඇතුළත්ව සිටින්නේ සචී පමණක් වන අතර, දිම්මා හෙවත් දිමුතු මෙන්ම, පොඩි ඇන්ජෙලෝ හෙවත්, ඇන්ජෙලෝ පෙම්වතුන් බව පැවසිය හැකිය.
සචීගේ පවුලේ විස්තර ගැන සඳහන් කළොත් තාත්තා ජීවතුන් අතර නැත. තාත්තා මියගිය පසු තමාගේ කටයුතු සියල්ල ගැන සොයා බලමින් අඩුවක් නොකළ අයියා සසංක, අක්කා මනුෂි සහ අම්මා ගැන ඔහු ගෞරවයෙන් කතා කරයි. විවාහයෙන් පසුව ”සචී” බිරිඳ සමග පදිංචිව සිටින්නේ තලවතුගොඩ ප‍්‍රදේශයේය. තරගයක් පරාජය වනවාට කිසිසේත්ම අකමැති ක‍්‍රීඩකයෙක් ලෙස ඔහු නම් කළ හැකිය.
බොහෝ දෙනා ඔහු හඳුන්වන්නේ අලූත් උනන්දුවා නමිනි. නිතර සැහැල්ලූවෙන් ප‍්‍රශ්නවලින් තොරව ජීවිතය ගත කිරීමට කැමති සචී, තරගයක් පරාජයකදී නම් සැහෙන දුක්වන චරිතයකි. ඒ වගේම තමාට හිතෙන හොඳ දේ යහපත් දේ කිරීමට කිසි විටෙකත් මැලි නොවන කෙනෙකි. විවේකයක් ලද මොහොතකදී ගාල්ලේ සංචාරයට වඩා ප‍්‍රියකරන අතර, ගීත අහන්නත් වඩාත් කැමති කෙනෙකි. මේ දිනවල ඔහුගේ ප‍්‍රියතම ගීතය වන්නේ අමරසිරි පීරිස් ගයන ”හන්තානට පායන සඳ” ගීතයයි. ගීත අහන්න වගේම ගීත ගායනයටත් ”සචී” දක්ෂයෙකි. කණ්ඩායමේ සිටින ක‍්‍රීඩකයින් සියලූ දෙනාම සමග මිත‍්‍රශීලී වුවද, ඇන්ජෙලෝ මැතිව්ස් සහ අජන්ත මෙන්ඩිස් සචීගේ ගජ මිතුරන්ය. දිමුත් සහ පොඩි ඇන්ජෙලෝ සමගද දීර්ඝ මිත‍්‍රත්වයක් පවතී.
දිම්මා හෙවත් දිමුත් කරුණාරත්න ගැන සඳහන් කළොත්, ඔහුගේ සම්පූර්ණ නම වන්නේ ෆ‍්‍රෑන්ක් දිමුත් මධුශංඛ කරුණාරත්නය. කොළඹදී උපන්න දිමුත් ශාන්ත ජෝශප් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූවෙකි. දිමුත්ගේ වයස අවුරුදු 25කි. අම්මා - තාත්තා සහ නංගී ඔහුගේ පවුලේ අයයි. දිම්මා ලෙස මිතුරන් අතර ප‍්‍රකට දිමුත් මිතුරන් අතර තවත් ප‍්‍රකට වීමට හේතුවක් වී ඇත්තේ පිටියේදී එතරම් බැරෑරුම් චරිතයක් නොවන නිසාය. ඔහුගේ සිනහවට කවුරුත් ප‍්‍රියකරන බව කිව හැකිය. ඔහුගේ ෆ්ලික් කිරීමේ පහර පන්දු යවන්නන් අන්දxමන්ද කිරීමට සමත් පහරකි. නමුත් සචිත‍්‍ර ඇඟිල්ල යට හංගා ගෙනවිත් එවන පන්දුවට නම් තරමක් බිය වේ. ශ්‍රී ලංකා ”ඒ” කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ දිමුත්ගේ කුඩා කළ ආසාව වී තිබුණේ ගුවන් නියමුවකු වීමට බව ආවර්ජනය කරයි.
නමුත්, ක‍්‍රිකට් තම ජීවිතය වූ පසු ඒ ගැන සිතුවා මිසක වෙන කිසිවක් ගැන නොසිතූ බව කියයි. ක‍්‍රිකට් ක‍්‍රීඩාවට අමතරව ජෝන්කීල්ස් ආයතනයේ සේවය කරයි.
පසුගිය දිනවල දිමුත්ගේ වැඩිහිටියෝ හඳහන එහෙම බැලූවේ ඇයි? ඒ ගැන විමසූ විට ඔහු කීවේ අනාගතයේ සිදු කිරීමට නියමිත විවාහය ගැන සිතන නිසා විය හැකි බවයි. මිතුරකු ලෙස අවංක අයෙකු මෙන්ම, දිම්මා අවංක පෙම්වතෙක් ලෙසත් සඳහන් කළ හැකියි. චරිතයක් හැටියට ගතිගුණ අතින් ඉතා හොඳ කෙනෙක් බවත්, ඉතා කරුණාවන්ත කෙනෙක් බවත්, ඔහුට ගොඩාක්ම ආදරය කරන අය පවසන දෙයකි.
දිම්මා හෙවත් දිමුත්ගෙන් පසුව ඇන්ජෙලෝ පෙරේරා ගැන කතා කළොත්, ඔහුට අද ශ්‍රී ලංකා කණ්ඩායමේ අය අමතන්නේ පොඩි ඇන්ජි යන නමිනි. හැබැයි පොඩි වුණාට මෙයාගේ වැඩ නම් ඉතින් ලොකු බව කියන්න පුළුවනි. ඒ ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු ලෙසයි. වයස අවුරුදු 23ක් වන ඇන්ජෙලෝ කණිෂ්ක පෙරේරා ශාන්ත පීතර විදුහලේ ආදි සිසුවෙකි. අම්මා - තාත්තා සහ මල්ලි ඩෙනම් ඔහුගේ පවුලේ උදවියයි. ක‍්‍රිකට් නිසා ලැබෙන ජනප‍්‍රියත්වය ගැන මායිම් නොකරන ඇන්ජෙලෝ ක‍්‍රිකට් ක‍්‍රීඩා කරන මිතුරන් අතරේ ප‍්‍රකටව සිටින්නේ හිත හොඳ චරිතයක් ලෙසයි. තමාට මොන දේ හෝ වේවා, අනෙක් අයට හොඳක් වෙනවා නම්, එය ඔහුගේ ප‍්‍රාර්ථනයයි. අනෙක් අයගේ හොඳ ගැනහිතන මේ මිතුරා ගැන එහෙම කීවේ, සචිත‍්‍රය. බැරිවෙලාවත් ක‍්‍රිකට් ක‍්‍රීඩා නොකළා නම් පොඩි ඇන්ජෙලෝ මොන වගේ දෙයක් කරන්න තිබුණාද?
”එහෙම නම් මම තාත්තා නලීන් පෙරේරා වගේ, කළමනාකරණ අංශයේ කටයුතු කරාවි” ඔහු පවසන්නේ එලෙසිනි. අම්මා මංජුලා පෙරේරා ගැනත් ඔහු සඳහන් කරන්නේ දැඩි භක්තියකිනි.
මේ අපූරු හැඩකාර ක‍්‍රිකට් තරු ඡායාරූප ගැනීමට ආ අවස්ථාවේ ගත කළ විදියද හරිම අපූරුය. ඒ සඳහා හමීඩියා ”එන්වොයි” පරිශ‍්‍රයට ආ මේ තිදෙනාට ඇඳුම් තෝරන එක නම් එතරම් ලෙහෙසි දෙයක් නොවීය. ඊට හේතුව මේ තිදෙනාම හැඩට අඳින්න කැමති නිසාය. සචී තෝරා ගන්නා ඇඳුම මටත් හොඳයි කියා දිම්මා කියන අතරේ, පොඩි ඇන්ජි තමාගේ ඇඳුමින් හැඩවෙලා එන්නට සෑහෙන වේලාවක් ගත කළේය.
”කාටද ඔය තුන්දෙනාගෙන් හොඳට රඟපාන්න පුළුවන්? ඒකට අවස්ථාවක් ලැබුණොත් කවුද එය බාරගන්නෙ?”
අපි එහෙම ඇහුවාම පොඩි ඇන්ජෙලෝ ඒකට ටිකක් කැමති බව තමයි පෙනුණේ. ඒ කොයි හැටි වුණත් මේ නිහතමානී ක‍්‍රීඩකයින් තිදෙනා ක‍්‍රිකට් අතැ’ර වෙන කිසි දෙයක් නම් නොකරන බවට අපට විශ්වාසයි. විලාසිතා Hameedia (Envoy) ගැලරි.

