කිලිනොච්චි එස්.එස්.පී උසස් නොකිරීමේ තීරණය උසාවියෙන් නවත්වයි


   
 
තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ  
 
කිලිනොච්චිය කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පාලිත සිරිවර්ධන මහතා නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස් කිරීමට ජාතික පොලිස් කොමිසම ලබා දුන් නිර්දේශය ක‍්‍රියාත්මක නොකිරීමට පොලිස්පති , නීතිය හා සාමය අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශ ලේකම්වරයා  ගත් තීරණය  වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) අතුරු නියෝගයක් නිකුත් කළේය.
 
තමන් නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස් කිරීමට ජාතික පොලිස් කොමිසම ලබා දුන් නිර්දේශය ක‍්‍රියාත්මක නොකිරීම මඟින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි සඳහන් කරමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පාලිත සිරිවර්ධන මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (05) කැඳවු අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ මෙම නියෝගය ලබා දෙන ලදී.
 
එසේම එම පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන් අතර එම පෙත්සම ලබන වසරේ ජූනි 03 වැනිදා විභාගයට ගැනීමටද අධිකරණය තීන්දු කළේය.
 
මෙම පෙත්සම ඊවා වනසුන්දර , නලින් පෙරේරා සහ ප‍්‍රසන්න ජයවර්ධන යන මහත්ම මහත්මීන් ගෙන් යුතු ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවිණි.
 
තමන් නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස් කිරීමට ජාතික පොලිස් කොමිසම ලබා දුන් නිර්දේශය ක‍්‍රියාත්මක නොකිරීමට පොලිස්පතිවරයා ඇතුළු බලධාරීන් පිරිසක් තිරණය කිරීමෙන් සිය අයිතීන් උල්ලංඝණය වී ඇතැයි කියමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පාලිත සිරිවර්ධන මහතා ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර , නීතිය හා සාමය අමත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර  , එම අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න , ජාතික පොලිස් කොමිසසේ සභාපති , ලේකම් සහ සාමාජිකයින් , නීතිපති නම් කරනු ලැබ සිටිති.
 
පෙත්සම්කරු සිය පෙත්සමින් කියා සිටිනුයේ 1978 වසරේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට එක් වු තමන් විවිධ නිලතල දරමින් මේ දක්වාම වසර 40 කට ආසන්න කාලයක් තිස්සේ සේවයේ නිරතව සිටින බවය.පළමු වගඋත්තරාකර පොලිස්පතිවරයා 2016 දී එම ධූරයට පත් වූ අවස්ථාවේ සිට මේ දක්වා අවස්ථා කිහිපයකදීම තමන්ව කිලිනොච්චිය කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරෙන්  කිරීමට උත්සාහ ගත් බව ද ඔහු කියා තිබේ. එසේම අවශ්‍ය සියලූ සුදුසුකම් සපුරා සිටි තමන්ට ලැබිය යුතු  නියෝජ්‍ය පොලිස්පති ධුරය පවා ලබා නොදීමට පළමු වගඋත්තරකරු උත්සාහ කළ බවද කියා සිටී.
 

පොලිස්පතිවරයා තමාට කෘර , අමානුෂික සහ අවමන්සහගත ලෙස සැලකීමට බඳුන් කර ඇති බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා අවධාරණය කර තිබේ.
 
ජාතික පොලිස් කොමිසම විසින් තමන් නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස්වීම ලැබ ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැන ගන්නට ලැබුණද තමන්ට එම උසස් වීම් ලබා දීමට වගඋත්තරකාර පොලිස්පතිවරයා ඇතුළු බලධාරීන් කටයුතු කර නොමැති බවද පෙත්සම්කරු පෙන්වා දේ.
 
එබැවන් මේ පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද , මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන ලෙසත්., තම උසස්වීමට අදාළ සියලූ ලිපි ලේඛන අධිකරණයට කැඳවීමට නියෝග කරන්නැයිද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා සිටී.
 
තවද ආණඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12 (1) , 14 (1) යන වගන්තීන් වලින් ප‍්‍රකාශිත මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප‍්‍රකාශ කරන්නැයිද , තමන් නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස් කිරීමට ජාතික පොලිස් කොමිසම් ගෙන ඇති නිර්දේශ ක‍්‍රියාත්මක නොකිරීමට පොලිස්පති , නීතිය හා සාමය අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශ ලේකම්වරයා  ගත් තීරණය  වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම්කාර් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඉල්ලා තිබිණි.