
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ණය ගෙවා දැමීමට ආණ්ඩුවට දීර්ඝ කාලයක් දෙන්නැයි තමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දේශීය නියෝජිතවරියගෙන් ඉල්ලීමක් කළ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
" ජනතා ප්‍රශ්නවලදී රජයට විපක්ෂයේ සිට සහයෝගය දෙනවා" යැයිද ඔහු සඳහන් කළේය.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද පැවසීය
ජාත්‍යන්තර ප්‍රසාදය දිනා ගන්න 21 වන ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍යයි කිව්වා. අපි ඒකට සහයෝගය දුන්නා. අයි,එම්,එෆ් යන්න කිව්වේ අපි. ඒත් සමහර අයි,එම්,එෆ් කොන්දේසිවලට එකඟ නැති නිසා ඡන්දය දීමෙන් වැළකී සිටියා.අයි,එම්,එෆ් ගියපු එක හොඳයි. නමුත් කොන්දේසි ජනතාවට දරාගත හැකි වෙන්න ඕනේ.අයි,එම්,එෆ් ශ්‍රී ලංකා නියෝජිතවරිය එදා අපිට හමුවුණ වෙලාවේ ණය ගෙවන්න ආණ්ඩුවට දීර්ඝ කාලයක් ලබා දෙන්න කියලා ෂෙහාන් ඇමතිතුමා ඉස්සරහම කිව්වා. ඒ තත්වය ඇති වුණොත් ජනතාවට තියෙන පීඩනය අඩු වෙනවා.
අවුරුද්දෙන් දෙකෙන් තුනෙන් ණය ගෙවීමට සිදු වුණොත් ජනතාවට ඇතිවන පීඩනය වැඩි වෙනවා.බදු වැඩි වෙනවා.විදුලි බිල වැඩි වෙනවා.ජීවන වියදම වැඩිවෙනවා. ඒකයි මම එහෙම ඉල්ලුවේ.දේශීය නියෝජිතවරියට අපේ ණය ගෙවන්න දීර්ඝ කාලයක් ලබා දෙන්න කිව්වම එතුමිය බෑ කිව්වා.ණය ගෙවීම ඉක්මනට කරන්න ඕන කිව්වා.

