යුද සමයේ දහස් ගණනින් පුද්ගලයින් අතුරදන්වී ඇතැයි කියන ප්‍රකාශ අතිශයෝක්තියක් බව අතුරුදන් වූවන් සම්බන්ධයෙන් සොයා බැලීමට රජය පත්කළ කමිටුව කියයි.
කමිටුවේ ප්‍රධානී හිටපු විනිසුරු මැක්ස්වෙල් පරණගම පවසන්නේ එම පුද්ගලයින් හා කණ්ඩායම් පවසන තරමේ පැමිණිලි තම කමිටුව වෙත මේ දක්වා ලැබී නොමැති බවයි.
අතුරුදන්වූවන් 147000 ක් පමණ ඇතැයි ඇතැම් කණ්ඩායම් පවසන මුලතිව් දිස්ත්‍රික්කයේ පසුගියදා සිදුකෙරුණු විමර්ශනයේදී තම කමිටුව වෙත ලැබුණේ පැමිණිලි 312 ක් තරම් ප්‍රමාණයක් බව මිීට ආසන්නතම උදාහරණයක් ලෙස ඔහු පෙන්වා දේ.
දෙමළ ජනතාව කමිටුව ඉදිරියට පැමිණීමට බිය වන්නේ යැයි පවතින මතය බැහැර කරන ඔහු මෙතෙක් කමිටුව හමුවට පැමිණි ඇති විශාල පිරිස හමුවේ දෙමළ ජනතාව හට එවැනි බියක් නොමැති බව පැහැදිලිව පෙනී යන්නේයැයි පවසයි.
දැනට කමිටුවට අතුරුදන්වූවන් සම්බන්ධයෙන් පැමිණිලි 19000 ක් පමණ ලැබී ඇතැයි සඳහන්ය.
එම පැමිණිලි වලින් බොහෝමයක් යුද සමයේදී අතුරදන්ව ඇති තම දරුවන් සම්බන්ධයෙන් පැමිණිලි කළ දෙමාපියන්ගේ බව පරණගම මහතා කියයි.
අතුරුදන්වී ඇතැයි පැමිණිලි ලැබුණු පුද්ගලයින්ගෙන් ඇතැමුන් විදෙස් රටවල ජීවත් වන්නේ යැයිද හෙළිව තිබේ.
එම පුද්ගලයින්ගේ තොරතුරු ලබාගැනීමේ අරමුණින් අදාළ රටවල තානාපති කාර්යාල වල සහය පැතූවද ආරක්ෂක හේතු නිසා එවැනි තොරතුරු ලබාදීම තානාපති කාර්යාල ප්‍රතික්ෂේප කර ඇතැයි පරණගම මහතා පවසයි.
උගත් පාඩම් හා සංහිදියා කමිටුවේ නිර්දේශ පරිදි අතුරදන්වූවන් සම්බන්ධයෙන් සොයාබැලීමට මෙම කමිටුව ජනපති මෙහෙයවීමෙන් පසුගිය වසරේ අගෝස්තු මාසයේදී පත්කෙරුණී.

