කිඳුරංගනා හි විහඟ


ලංකාවේ ටෙලිනාට්‍ය පේ‍්‍රක්ෂකයන්ට අමතක නොවන අද්දැකීමක් එක්කළ තවත් එක් සුවිශේෂ ටෙලි අන්දරයක් විදියට කිඳුරංගනා නාට්‍යය හඳුන්වන්න පුළුවන්. කලකට ඉහත දී සිරස රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වූ කිඳුරංගනා ටෙලි නාට්‍යයට ප‍්‍රධාන චරිතයකින් දායක වුණු රංගන ශිල්පියෙක් තමයි අකිල සඳකැළුම්. ඔහු විහඟ චරිතය හරහා පේ‍්‍රක්ෂක හදවත් තුළ ලැඟුම් ගත්තේ කිසිදා අමතක නොවන ලෙසින්.

ඒ නිසාවෙන්ම මෙවර සිත් ගත් රංගනයට විහඟ චරිතයට පණපෙවූ අකිල සඳකැලූම් එකතු කරගත්තා.

 

අකිල කිඳුරංගනා හරහා සම්බන්ධ වුණේ කොහොමද?

පොඩි කාලෙ ඉඳන්ම මගේ හීනෙ වුණේ කවදාහරි රංගන ශිල්පියෙක් වෙන්න. ඒකට කොළඹ ඇවිල්ලා ලොකු කට්ටක් කෑවා. ඒ සඳහා නිකම්ම අවස්ථාවක් ඉල්ලගෙන ගියේ නෑ. ලංකාවෙ ඒ වෙනුවෙන් ඉගෙනගන්න පුළුවන් හැම තැනටම ගිහින් ඉගෙන ගත්තා අනෝජා වීරසිංහ, මහේන්ද්‍ර පෙරේරා ඒ හැමෝම ළඟම, ඒ ඉද්දී අහම්බෙන් තමයි කිඳුරංගනා සෙට් වෙන්නෙ.

 

20170119Akila-1කොහොමද කිඳුරංගනා සෙට් වෙන්නෙ?

මගේ යාළුවෙක් එක්ක මම යනවා යාළුවගෙ වැඩකට මහරාජා ප‍්‍රධාන කාර්යාලයට. ඒ යද්දි කවදාවත් දැකලා නැති කෙනෙක් එක පාරට ඇවිල්ලා මගෙත් එක්ක කතා කළා. මචං උඹ නේද හිරි පොද වැස්ස චිත‍්‍රපටයේ හිටියේ කියලා. මම ඔව් කියලා කිව්වම ඔහු මාව බලෙන්ම වගේ මහරාජා කාර්යාලයේ ඇතුළට එක්කන් ගිහින් වාඩි වෙන්න කියලා පැය භාගයක් ඇතුළත කිඳුරංගනා හි විහඟ චරිතෙට මාව තෝරගෙන රූගත කරන දවස් දීලා ඒ සඳහා තෝරගන්නවා. ඒ හැමදේම අහම්බෙන් වගේ සිදුවුණේ.

 

අකිල විහඟගේ චරිතයෙන් ගොඩක් ජනප‍්‍රිය වුණානෙ ඒ ගැන කතා කරමු?

මගේ බලාපොරොත්තුව වුණේ අවුරුදු පහකදී හයකදී වගේ ක්ෂේත‍්‍රයේ හොඳ තැනකට යන්න. නමුත් අවුරුදු තුනක් යද්දි මම කරපු පළවෙනි චරිතයෙන්ම මගේ සිහිනයට බලාපොරොත්තුවට යන්න පුළුවන් වුණා. මම හිතපු නැති තරම් ලොකු ප‍්‍රතිචාරයක් මට කිඳුරංගනා හරහා ලැබුණා. විශේෂයෙන්ම කියන්න  ඕනෑ අද වගේ නෙමෙයි ඒ කාලෙ නළු නිළියො බිහිවෙන්නෙ හරි අඩුවෙන්. අද නම් මෙගා තියෙන නිසා දවසකට නළු නිළියො එක්කෙනා දෙන්නා බිහිවෙනවා. ඒ කාලෙ අලූතින් හඳුන්වලා දෙන්නෙ අවුරුද්දකට එක්කෙනයි දෙන්නයි.

 

අකිල පුංචි තිරයට ආපු පළමු නාට්‍යයෙන්. ජනතා ප‍්‍රසාදය ලබාගන්න හැකිවුණා. ඒ ගැන මොකද හිතෙන්නෙ? පළමු රංගනය නිසා බියක් චකිතයක් දැනුණෙ නැද්ද?

ඇත්තටම ඒක කළේ මහරාජා ආයතනයේ ඉන්දියාවෙ බලාජි කියන කම්පැණි එකෙන්. එහි අධ්‍යක්ෂ, සංස්කාරක, කැමරාකරුවන් පස් දෙනෙක් ලංකාවට ආවා. විශේෂයෙන්ම මතක් කරන්න  ඕනැ චතුර ජයතිලක මහත්මයව. ඒ වගේම රංගෙ බණ්ඩාර. ඒගොල්ලො එකතුවෙලා මේ ඉන්දියාවෙ පිරිසත් එක්ක දවස් තුනක වැඩමුළුවක් කළා. එතකොට ඒ වැඩමුළු හරහා රූගත කිරීම්වලට කලින් අපි අතර හොඳ හඳුනා ගැනීමක් වෙනවා. අපි හොඳ යාළුවො වෙනවා. ඒ සුහඳ බවත් එක්ක අපිට අපේ රංගනය වුණත් අළුත් බවක් දැනුණෙ නෑ. ඒ නිසා හොඳට වැඩ කරගෙන යන්න පුළුවන් වුණා.

 

විහඟ කියන්නෙ ආදරණීය චරිතයක්. ඒක කොහොමද අකිලට දැනුණෙ?

මම හිතන්නෙ විහඟ කියන්නෙ මමම තමයි. මට ඒක කරන්න ලොකු අමාරුවක් වුණේ නෑ. ඒක ටික දවසක් කරගෙන යද්දි ගොඩක් කට්ටියගෙන් හොඳ ප‍්‍රතිචාර ලැබුණා. මමත් ඒ වගේ අහිංසක ආදරණීය චරිතයක් කියලා ගොඩක් අය කියනවා.

 

ඒ නාට්‍යයේ පෙම් ජවනිකා තියෙනවනෙ ඒවා අකිල කළේ පේ‍්‍රමයේ අද්දැකීම්වලින් පරිණත කෙනෙක් වගේ නේද?

නෑ. පේ‍්‍රමයේ ලොකු අද්දැකීමක් මට තිබුණේ නෑ. නමුත් මම ඒ වෙද්දි චිත‍්‍රපට ගොඩක් බලලා තිබුණා. මම හිතන්නෙ නම් මේ චරිතය සාර්ථක වුණේ මෙහි අධ්‍යක්ෂවරයා නිසා. ඔහු මගෙන් අවශ්‍ය දේ ගත්තා කියලා මම හිතනවා. ඔහු හරිම ක‍්‍රමයට මාව මෙහෙයවූවා.

 

විහඟ සහ සංජු තවත් පෙම් යුවළක් විදියට හොඳ ප‍්‍රතිචාර තිබුණා නේද?

ඒ කාලෙ ඇත්තටම ඒ වගේ ආදරණීය යුවළක් හිටියේ නෑ. රූපවාහිනියේ ඒක අඩුවක් වෙලා තිබුණෙ. චන්න යශෝධාගෙන් පස්සෙ  බිහිවුන යුවළ අපි දෙන්න කියලා ගොඩක් කට්ටිය කියලා තියෙනවා.

 

ඒ ජනප‍්‍රියත්වය අකිලට දැනුනෙ කොහොමද?

ඇත්තටම ඒක අපිට දරාගන්න බැරි වුණා. ඒ තරම් ලොකු ප‍්‍රතිචාරයක් අපිට තිබුණා. ඇත්තටම අපේ පෞද්ගලික වැඩකට එලියට බහින්න බැරි තරම් ලොකු ප‍්‍රතිචාරයක් තිබුණා.

 

අකිලගේ චරිතය සාර්ථක කරගන්න යුරේනිගෙන් ලැබුණු සහය කොහොමද?

මේ යුරේනිගෙත් පළමු අද්දැකීම. ඇයත් හොඳින් රඟපෑවා. තමන් කරන චරිතය හොඳට කරන්න පුළුවන් වෙන්නෙ සහය චරිතය කරන කෙනාගෙ සහය හරියට ලැබුණොත් විතරයි.

ඉතින් ඇයගෙ සම්පූර්ණ සහය මට ලැබුණා.

20170119Akila-2

 

ඔබ වටා පේ‍්‍රක්ෂකයො ගොඩක් එකතු වෙලා හිටියා නේද?

ඔව්, ඒකනම් තිබුණා. මොකද අදත් ගොඩක් අය මගේ නමින් නෙමෙයි කතා කරන්නෙ. මගෙ ඇත්ත නම දන්නෙ නැති තරම්. ගොඩක් අය තවමත් විහඟ කියන නමින් තමයි කතා කරන්නෙ. අදටත් ඒ ප‍්‍රතිචාර සහ චරිතයට තියෙන ආදරේ ඒ වගේමයි.

 

අමතක නොවන මතක සටහනක් කියමුද?

ඉෂාන් මම සහ යුරේනි මීගමුවෙ රූගත කිරීම්වලට යන්න කාරෙක නැවැත්තුවා විතරයි මිනිස්සු ඇවිල්ලා අපේ කාරෙක වටකර ගත්තා. අපි තුන් දෙනාටම බැහැගන්නත් බැරි වෙන විදියට. එහිදී අධ්‍යක්ෂ, කැමරා ශිල්පීන් හැම කෙනෙක්ම ලොකු උත්සාහයක් ගත්තා අපිව වාහනෙන් බස්සවලා රූගත කිරීම් කරන්න. මොකද එයාලා ලයිට් දාලා එහෙම රූගත කිරීම්වලට ලොකු මහන්සියක් දරලා තිබුණේ. ඒ වගේම ලොකු වියදමකුත් ඒවට යනවනෙ. නමුත් ඉතින් කොච්චර වියදම් කළත් අපිට එදා එහි අපිට තිබුණු ප‍්‍රතිචාර මත රූගත කිරීම් කැන්සල් කරන්න පවා සිදුවුණා. මොකද ඒ තරමට කට්ටිය අපිව වට කරගෙන හිටපු නිසා. ඒ තරමේ ප‍්‍රතිචාරයක් අපිට ඒ දවස්වල තිබුණා. ඒ ගැන ගොඩක් සතුටුයි ඇත්තටම.

 

ඔබටම මේ චරිතෙ ලැබීම ගැන මොකද හිතෙන්න

මම හිතන්නෙ මට තමයි ඒ චරිතය ලැබෙන්න  ඕනෑ ලංකාවෙ එකම කෙනා. මම අදටත් කියනවා ඒ චරිතය මම කළා තරම් හොඳට කරන්න වෙන කෙනෙකුට බෑ. මට කළින් අටසීයක් විතර මේ චරිතයට ඉන්ටවීව් කරලා තියෙනවා. මේ චරිතෙට තෝරගන්නට. ඒත් මේ චරිතෙට හරියන කෙනෙක් නැතිව ඉද්දි තමයි අහම්බෙන් වගේ මේ චරිතෙ මටම ලැබෙන්නෙ. ඒ වගේම මාව මේ සඳහා තෝරගන්න තවත් ලොකු හේතුවක් වුණා. ඒ නාට්‍ය ඉන්දියාවෙ යද්දි ඉන්දියාවෙ විහඟ චරිතය කරපු නළුවා මගෙ රූපෙට සමානයි. ඒ රූපයේ සමානකමත් මාව මේ චරිතෙට ගන්න හේතුවක්

 

ධනු විජේරත්න