
(යොහාන් භාසුර)
මන්නාරම සිලාවතුර අරිප්පු ප්‍රදේශයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ජීවී කැස්බෑවන් දෙදෙනෙක් ඇතුළු කැස්බෑ මස් තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයේ අරිප්පු වෙරළ නිරීක්ෂණ මධ්‍යස්ථානය කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කැස්බෑවන් සිව් දෙනෙක් මරා මස් පිණිස සකස් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් කැස්බෑ මස් කිලෝග්‍රෑම් 206 ක පමණ තොගයක්, ජීවී කැස්බෑවන් දෙදෙනෙක් සහ කැස්බෑවන් ගොඩබිමට රැගෙන ඒමට භාවිතා කළ බවට සැකකෙරෙන තෙප්පම් වර්ගයේ කුඩා යාත්‍රාවක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කීය.
නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 26 ක් සහ 37 ක් වන අරිප්පු ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගන්නා ගත් බව කී නිවාක හමුදාව එම සැකකරුවන් දෙදෙනා, ජීවී කැස්බෑවන් දෙදෙනා, කැස්බෑ මස් කිලෝග්‍රෑම් 206 ක පමණ තොගය සහ තෙප්පම් වර්ගයේ කුඩා යාත්‍රාව ඉදිරි විමර්ශන කටයුතු සඳහා මන්නාරම වනජීවි දෙපාර්තමේන්තු කාර්යාලයට භාරදුන් බව ද සඳහන් කළේය.

