
(විනීතා එම් ගමගේ)
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන්හි කැලණි ගඟේ වම් හා දකුණු ඉවුරුවල පරිසර බලපත් ලබානොගෙන පවත්වාගෙන යන කර්මාන්ත සොයා අද (18) සිට මේ මස 22 දක්වා මෙහෙයුමක් සිදුකිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන ඇත.
මධයම පරිසර අධිකාරියේ නිලධාරින් හා පොලිසිය එක්ව මෙම මෙහෙයුම දියත් කරන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස් අමරසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.
මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ, බස්නාහිර පළාත් කාර්යාලයේ සහ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරින්ගෙන් සමන්විත කණ්ඩායම් 13 මේ සඳහා යොදවා ඇති බවත් මෙම කලාපයේ පොලිස් ස්ථාන හතක නිලධාරින් මේ සඳහා එක්වන බවත් හෙතෙම කියා සිටියේය.
කැලණි ගඟේ ජලයේ ගුණාත්මක භාවය ආරක්ෂා කර ගැනීමට සහ වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකිරීමමෙම වැඩපිළිවෙලේ අරමුණ යැයි කී අමරසිංහ මහතා කැලණි ගඟට අපජලය හා අපද්‍රව්‍ය බැහැර කරන කර්මාන්ත සොයාගැනීම ද මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණක් බව කීය.
රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් මෙම මෙහෙයුම දියත් කරන බව ද සභාපතිවරයා කීය.

