කැබ් ගන්න වෙන් කළ සල්ලි ආපදාවට දෙන්න


(අංජුල මහික වීරරත්න)

අලුතින් කැබ් රථ 1775ක් ගන්න අයවැයෙන් වෙන් කළ රුපියල් මිලියන 12500 ක මුදල ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සලසන්න යොදවන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අප රට දැවැන්ත අභියෝග රැසකට මුහුණ දෙමින් ඛේදවාචකයන් රැසක් සිදුව ඇති මොහොතක  ප්‍රමුඛතව විය යුත්තේ කැබ් රථ මිලදී ගැනීම නොවේ යැයි ද විපක්ෂ නායකවරයා කීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මේ වන විට දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වය නිසා අවතැන් වූ ජනතාවගේ සුවදුක් සොයා බැලීම සඳහා  එම ජනතාව නැවතී සිටින සහන සේවා කදවුරු වෙත ගිය අවස්ථාවේ දීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කඩුවෙල කොතලාවල විද්‍යාලය, සංඛපිටිය විහාරස්ථානය,කඩුවෙල හේවාගම අභිනවාරාම විහාරස්ථානය, කොරතොට, නවගමුව ශ්‍රී අශෝකාරාමය, බෝමිරිය ප්‍රදේශය වල කණිෂ්ඨ විද්‍යාලය ඇතුළු විද්‍යාල රැසකට අද ගියේය.

විපක්ෂයක් ලෙස අයවැය සාකච්ඡාවට ලක්කරන මොහොතේ මේ මුදල් විපතට පත් බල ප්‍රදේශවලට ජනතාවගේ යහපත උදෙසා යොමු කිරීමට එම අයවැය යෝජනාව වෙනස් කරන්න සහයෝගය ලබා දෙන බව විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය.