කැනඩාවේ වසන්තය ගී නදින් රසකරන අපේ ගීත කෝකිලාව


 

මෙකී සමය තරම් ගතට සුවදායක, නෙතට රසඳුනක් වූ තවත් සමයක් නැති තරම්ය. උයන් පුරා - මාවත් අද්දර, සමනොළ වර්ණයෙන් පූදින නේක විධ මල් පළින් බර ගස්, මේ සියල්ලෙහි පහස විඳින සියොතුන්, ආදී ඒ සියල්ල සැබැවින්ම සුන්දර සිතුවමක් වැන්න. 

උදා වූ මේ වසන්තයේ කැනඩා දේශය සැණකෙළි අසිරියෙන් පිරීයයි. ටොරොන්ටෝ බීච් සැණකෙළිය, ආදී විවිධ සැණකෙළි විවිධ නගර වලදී පැවැත්වෙයි. ළමුනට දිව්‍යලෝකයක සතුට දන වන වොන්ඩර්ලෑන්ඞ් තවත් කදිම ස්ථානයකි. මේ වසන්ත සමය කෙතරම් දිගුද කිවහොත් රාත‍්‍රිය එළැඹෙන්නේ රාත‍්‍රී 9.30ට පමණය. එනම් කළුවර වැටෙන්නේ එම වෙලාව පමණ වන විටය. හිරු වෙනදාට වඩා උදෑසනින් විවර වේ. කළුවරට වඩා දහවලට ස්වභාව ධර්මය එලෙසින් සොබා දහමේ අසිරියට ඉඩ දී ඇත. සෑම ජුනි මාසයකදීම වාගේ කැනඩාවට ලෝ පුරා සිටින සංචාරකයින් පොකුරු පිටින් රොද බඳින්නේ මේ අසිරිය විඳගැනීමටය.

මෙලෙසින් වසන්තය එළැඹෙන කළ තුටින් සිටින - එරට සිටින ශ්‍රී ලාංකිකයෝ මෙවර මෙම වසන්තය එළැඹෙන තෙක් බලා සිටියේ පුදුමාකාර වූ සොම්නසකිනි. ඒ වෙන කිසිවක් නිසා නොව, ඇය ඔවුන’තරට පැමිණෙන වග දන්නා නිසාය. වසන්තයේ කෝකිලාවිය සිය ස්වර්ණ - වර්ණ ස්වරය මුදා හරින්නට පැමිණෙන වග දන්නා නිසාය. එය ඔවුනට සතුටකට එහා ගිය අභිමනකි. ඒ අභිමනට හේතුව දේශානුරාගය විය හැකිය. ආදරය, සුන්දරත්වය, ජීවිතය නිසා විය හැකිය, හදවතට - මනසට - පමණක් නොව ආත්මයට සමීපව දශක පහක් ඔස්සේ ඒ හඬ ආස්වාදය කළ නිසා විය හැකිය.  ඕ විශාරද නන්දා මාලනියයි. කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් මෙලෙස දෑස් දල්වා බලා සිටින්නේ ඇය පැමිණෙන තුරුය. ඇය එහි එන්නේ තනිවම නොවේ. ශ්‍රී ලාංකීය සංගීතයේ සොඳුරුතම සළකුණු තැබූ, ජාත්‍යන්තර සළකුණ රෝහණ වීරසිංහයන් මෙන්ම සංගීතයේ වත්මන් පරපුරේ ආඩම්බරය වූ සුරේෂ් මාලියද්දේ මෙන්ම තබ්ලාව අපූර්වතම උරුමයක් කරගත් ධනංජය සෝමසිරි, සහ ගිටාර් වාදනයේ ප‍්‍රවීණත්වය අපූරුවට මුදා හරින මහේන්ද්‍ර පැස්කුවල් ද සමගය. එලෙසින් කැනඩාවට යන විශාරද නන්දා මාලනිය ගී ගයන ප‍්‍රසංග මාලාවක් එහිදී පැවැත්වීම මේ වසන්තයේ උදානයට හේතුවකි. අද (9) ඒ සඳහා දිවයිනෙන් පිටත්ව යන මේ පිරිස ජුනි 14 වැනිදා කැල්ගර් හිදී ප‍්‍රථම ප‍්‍රසංගයට සහභාගිවීමට නියමිතය. ජුනි 15 වැනිදා දෙවැන්න පැවැත්වෙන්නේ මැනිටෝබා නගරයේදීය.

ජුනි 16 වැනිදා වැන්කුවර් නගරයේදීත්, 22  වැනිදා ටොරොන්ටෝ හිදීත්, 23 වැනිදා මොන්ටි‍්‍රයල් නගරයේදීත් අනෙකුත් ප‍්‍රසංග පැවැත්වේ.

මෙකී සියල්ලෙහි ප‍්‍රධාන සංවිධායකවරයා වන්නේ ටොරොන්ටෝ නගරයේ වොයිස් ඔෆ් ලංකා(Voice of lanka) FM සේවය බාරව සිටින රංජිත් වික‍්‍රමසිංහ නමැති රසවතාය,. එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ රසඥතාවය වෙනුවෙන්, නිබඳව කැප වී සිටින රංජිත් වික‍්‍රමසිංහ අපූරු ශ්‍රී ලාංකිකයෙකි. ඔහු ඇතුළු වොයිස් ඔෆ් ලංකා හි අනෙකුත් සියල්ලන්ට අමතරව ටොරොන්ටෝවේ වෙසෙන අපේ කලා කරුවන් සමඟ ගහට පොත්ත සේ බැඳී සිටින සුදේශ් මුතු රසවතාද මතක් කළ යුතුමය.

මෙකී සියලූ දෙනාගේ ආරාධනයෙන් විශාරද නන්දා මාලනිය මෙවර කැනඩාවට ගියත්, මීට පෙර ගිය අතීතය ඇය සිහිපත් කළේ මෙලෙසිනි.

‘‘මීට වසර දහයකට විතර පෙරදීත්, සුන්දර කැනඩා දේශයේ පැවැත්වූ ප‍්‍රසංගවලට සහභාගි වුණා. මෙවර එහි යන්නේ තුන්වැනි වතාවටයි. නමුත් කැල්ගරි සහ මොනිටොබෝ නගරයේ පැවැත්වෙන ප‍්‍රසංග වලට සහභාගි වන්නේ ප‍්‍රථම වතාවටයි. මට දැන ගන්න ලැබුණු විදියට මේ සියලූම නගරවල පැවැත්වෙන ප‍්‍රසංග සඳහා දැනටමත් ප‍්‍රවේශපත් සියල්ල විකිණී අවසන්. ඇත්තටම ඒ රසිකත්වයට මා ගරු කරනවා. ඒ විතරක් නොවෙයි, කුඩා දරුවාගේ සිට, තාරුණ්‍යයේ මෙන්ම වයසින් මුහුකුරා ගිය අයගේ රසඥතාවයට ගැලපෙන පරිදි ගීත 25ක් විතර එහිදී ගයනවා. එරට සිටින නැටුමට - වැයුමට දක්‍ෂ අපේ දු - දරුවන් පවා විවිධ අංගවලට දායකවේවි. කැනඩාවට ගිහින් සිටින අපේ ප‍්‍රවීණ සංගීත ශිල්පීන් පවා සහභාගි වේවි. කැනඩාව මට කෙදිනකවත් අමතක කරන්න බැරි මේ අපූරු රසිකත්වය ඇති ශ්‍රී ලාංකිකයින් නිසයි. අප පැමිණෙනතුරු මග බලා සිටින, අපට උණුසුම් හැඟීමකින් සංග‍්‍රහ කිරීමට බලා සිටින ඒ අය වෙනුවෙන් සුන්දර ප‍්‍රසංගයක් කිරීම අපේ අරමුණයි. 

වසන්තයේ කෝකිලාවිය එලෙසින් කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිනවා ඊළඟට පියමං කරන්නේ ලන්ඩනය බලාය. එහිදීත් ප‍්‍රසංග කීපයකට ඇය සහභාගි වීමට නියමිතය. ඒ ‘ගී අමා’ ප‍්‍රසංගය වෙනුවෙනි. එහිදී එම ප‍්‍රසංගය පැවැත්වෙන්නේ ආචාර්ය වික්ටර් රත්නායක නමැති සොඳුරුතම වූත් සුමිහිරි වූත්, අපූර්වතම ගායකයාණන් සමගය. විශාරද නන්දා මාලිනිය එලෙසින් එංගලන්තයට පැමිණෙන්නේ ප‍්‍රසංගය සඳහා අට වැනි වතාවටය. එහිදී පැවැත්වෙන ප‍්‍රසංගය සඳහා සංගීත අධ්‍යක්‍ෂණය සුරේෂ් මාලියද්දේ ගෙනි. ඊට අමතරව රුක්ෂාන් ගුණවර්ධන, ප‍්‍රියන්ත දසනායක සහ නිහාල් කළුබෝවිල ද සංගීතයෙන් ඊට දායක වෙති. ආර්ට් ලංකා මෙම ප‍්‍රසංගය සංවිධානය කරන අතර, එහි ප‍්‍රධානියා වන්නේ ප‍්‍රසාද් ඔලැන්ඩෝය. මෙම සංවිධානයේ ආරම්භක සාමාජික ප‍්‍රිය විජය ෆොන්සේකා සහ පේ‍්‍රමා ගනේගොඩ යුවළඳ මීට උපදෙස් ලබා දී ඇත. අටවැනි වතාවට එංගලන්තයට යන නන්දා මාලිනියට පැරණි මතකයන් සිහිපත් වූයේ මෙලෙසිනි.

‘‘මුලින්ම ප‍්‍රසංගයක් සඳහා එංගලන්තයට ගියේ 1979 දීයි. එදා එංගලන්තයේ පුවත්පතක පළව තිබුණේ, එංගලන්තයට හැමූ කුණාටුව කියලයි. ඒ තරමටම ලොකු පිබිදීමක් ඇතිව පැවැත්වූ ප‍්‍රසංගයක් වුණා. එදා එම ප‍්‍රසංගය නිසා එරට විසූ අපේ ලාංකිකයින් සතුට වැඩිකමට මා සිප වැළඳ ගනිමින් සමුදුන් ආකාරය මට අද වගේ මතකයි. සැබැවින්ම අපේ ශ්‍රී ලාංකිකයින් වෙසෙන සෑම පිටරටකටම ගියාම අපට ලැබෙන්නේ මේ වගේ උණුසුම් හැඟුමන් - උණුසුම් ප‍්‍රතිචාර.
ඉදින් සබඳ වසන්තයේදී හමුවන ඇය ගයන ගී රිසි සේ විඳින්නට දැන් ඔබට අවසර.... තරුද නිදන මහ රෑක, සීතල සඳ රේඛාවක් ලෙස ඇවිත් ඇය ඔබ හද විල කළඹා වි..... ජීවිතයේ අරුතද කියාදේවි.