කැනඩා හොර පාරක් අල්ලයි


බටහිර අපි‍්‍රකාවේ ගිනී රාජ්‍යයට ගෙන ගොස් නීති විරෝධී ලෙස ශ‍්‍රී ලාංකිකයින් කැනඩාවට සංක‍්‍රමනය කරවීමේ අළුත්ම මිනිස් ජාවාරමක සුල මුල හෙළිකර ගැනීමට හැකි වූ බව ආගමන විගමන පාලක ජනරාල් චූලානන්ද පෙරේරා මහතා කියයි.

ගිනී රාජ්‍යය බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට අද අලුයම පැමිණි නාවලපිටිය පදිංචි ශ‍්‍රී ලාංකික තරුණයෙකුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී මෙම තොරතරු අනාවරණය කරගැනීමට හැකි වූ බවද හෙතෙම කීය.

එල්.ටී.ටී සංවිධානයට සම්බන්ධකම් දක්වන පිරිසක්, ගිනී රාජ්‍යයේ මිනිස් ජාවරමුන් සමග එක්ව මෙම ජාවාරම මෙහෙයවන බව පැවසේ.

අද පිටත්වීමේ පර්යන්තය බාරව රාජකාරී කළ ප‍්‍රධාන ආගමන විගමන නිළධාරී ජයන්ත රත්නායක මහතා විසින් එම තරුණයාගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කොට මේ බව සැකහැර දැනගෙන ඔහුගේ ගමන වලක්වා ඇත.

පසුව රත්නායක මහතා විසින් මේ පිළිබඳ විශේෂඥ උපදෙස් ලබා ගැනීම සඳහා කැනේඩියානු මහකොමසාරිස් කාර්‍යාලයට දැනුම් දෙනු ලැබ එහි පළමු ලේකම් ගැරී වොලස් මහතා ද අද  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ තිබේ.

ආගමන විගමන පාලක ජනරාල් චූලානන්ද පෙරේරා මහතාගේ උපදෙස් මත ප‍්‍රත්‍යන්ත කළමනාකරණය හා වීසා කටයුතු බාර පාලක එම්.එන් රණසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ප‍්‍රධාන ආගමන විගමන නිලධාරී ජයන්ත රත්නායක මහාත ඇතුළු නිලධාරීහු විමර්ශන සිදු කරති.