කැනඩාවේ අගනුවර වන ඔටාවාහිදී මුස්ලිම් ආගම වැළඳගත් කැනඩා ජාතික තරුණයෙකු යුද ස්මාරකයෙහි මුර සේවයේ යෙදී සිටි සොල්දාදුවෙකු වෙඩිතබා ඝාතනය කිරීමත් අනතුරුව පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලට කඩා වැදීමත් සැළවීමෙන් අනතුරුව බ්‍රිතාන්‍ය අගමැති ආරක්ෂක ප්‍රධානීන් හමුවී හදිසි තත්වයක් ඇතිවුවහොත් ගතයුතු ආරක්ෂක විධි විධාන පිළිබඳව කතා බස් කර ඇත.
බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරන අන්දමට බ්‍රිතාන්‍යයේ තරුණ ජිහාඩ්වරු 1500 ක් පමණ දැනට සිරියාවේ සහ ඉරාකයේ පවතින යුද්ධයට ස්වේච්ඡාවෙන් සම්බන්ධවී සිටිති. යුද්ධය පිළිබඳව මන#කල්පිත වීරත්වයක් සිත්හි මවාගෙන ඉන්නා මේ පිරිස අතර තරුණියන්ද වෙති.
මේ සියලුමදෙනා ජිහාඩි අන්තගාමීන් බවට පත්ව ඇත්තේ බ්‍රිතාන්‍යයේ පිහිටුවා ඇති අන්තවාදී සංවිධානයන්ගේ ආභාෂය නිසා බව පොලිසිය විශ්වාස කරයි.
ඔටාවා සිද්ධිය සැළවූ වහාම ස්කොට්ලන්ඩ් යාඩ් පොලිස් සේවය සහ එම් අයි 5 රහස් ඔත්තු සේවය ලන්ඩන් නුවර පාර්ලිමේන්තු පරිශ්‍රය, බකින්හැම් මාලිගා භුමිය ගුවන් තොටුපළවල් සහ අනෙකුත් සියලුම ස්ථාන සඳහා සුවිශේෂී ආරක්ෂාවක් සැපයීමට කටයුතු යොදා ඇත.
බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටියේ "නිරන්තරයෙන් දැඩි විමසිල්ලෙන් සහ සුපරීක්ෂාකාරීව සිටිනා" ලෙසටය.
ත්‍රස්තවාදයේ භයානක උවදුර බ්‍රිතාන්‍යයටත් ඇතුල්වී ඇතිබව පිළිගත් අගමැති වරයා එම උවදුර පරාජය කිරීමට අවශ්‍ය ඕනෑම නීතිමය පියවරක් ගැනීමට පසුබට නොවන බවද අවධාරණය කළේය.
බ්‍රිතාන්‍යයේ ත්‍රස්‌තවාදී ක්‍රියා ඇතිවීමේ හැකියාව සිකුරාදා වනවිට "දැඩි" ස්ථාවරයේ සිට "උග්‍ර" ස්ථාවරය දක්වා ඉහළ නැංවීමට ආරක්ෂක අංශ නිගමනය කර ඇත.
පාර්ලිමේන්තු ආරක්ෂක කොමිටුවේ හදිසි රැස්වීමක්ද ඊයේ කැඳවනු ලැබීය.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සභානායක සහ විපක්ෂ නායක වරුන් කැනාඩා රජයට සහ ජනතාවට බ්‍රිතාන්‍යයේ කනගාටුව ප්‍රකාශ කළ අතර ත්‍රස්තවාදය පරාජය කිරීම උදෙසා එකමුතුව කටයුතු කිරීමට සුදානම් බවද දන්වා ඇත.

