මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීතිවිරෝධී බව ප‍්‍රකාශ කර එම කොට්ඨාසය පිහිටවූ ගැසට් නිවේදනය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇල්ලේ ගුණවංශ හිමි සහ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ගොනු කළ රිට් පෙත්සම් දෙකක් සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීම සඳහා ලබන පෙබරවාරි 25 වැනිදා තෙක් පොලිස්පතිවරයාට කල් දීමට අභියාචනාධිකරණය ඊයේ (11) තීන්දු කළේය.
සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ සහ එච්.සී.ජේ. මඩවල මහත්මිය ඉදිරියෙහි මෙම පෙත්සම් කැඳවනු ලැබිණි.
ඇල්ලේ ගුණවංශ හිමි, මහාචාර්ය කාලෝ ෆොන්සේකා සහ රොහාන් වැලිවිට යන මහත්වරුන් ගොනු කළ මෙම පෙත්සම්හි වලඋත්තරකරු ලෙස පොලිස්පති නම් කරනු ලැබ සිටියි.
පසුගිය රජය සමයේ සිදුකළ වංචා දූෂණ පිළිබඳව විමර්ශණය කිරීම සඳහා ඉකුත් 2015 පෙබරවාරි 13 වැනිදා පොලිස්ලතිවරයා විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය යන නමින් වෙනම පොලිස් ඒකකයක් පිහිටවූ බවත්, ඒ සඳහා වන ගැසට් නිවේදනය 1901/20 දරණ අංකය යටතේ නිකුත් කර ඇතැයි පෙත්සමේ සඳහන්වේ.
පොලිස් ආඥා පනතකින් 55 වගන්තිය අනුව එම කොට්ඨාසය පිහිටවූ බව සඳහන්වේ.එහෙත් පොලිස් ආඥා පනතේ 55 වන වගන්තිය අනුව එවැනි ඒකකයක් පිහිටුවීමට පොලිස්පතිවරයාට එවැනි බලයක් නොමැති බව පෙත්සම්කරුවෝ සිය පෙත්සමින් පෙන්වා දේ.පොලිස් නිලධාරීන් සහ ඔවුන්ට අදාළ කාරණා සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වීම සඳහා වන බලය පමණක් 55 වැනි වගන්තිය මඟින් ලබා දී ඇති බවද ඔවූහු පවසති.
එසේම අගමැතිවරයා යටතේ ඇති කැබිනට් අනු කමිටුව එම පොලිස් ඒකකයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දෙනු ලබන නියෝග අනුව විමර්ශන සිදු කිරීම පවතින නීතියට සම්පූර්ණයෙන්ම පටහැනිව කටයුතු කිරීමක් බව පෙත්සම්කරුවන් කියා සිටී.
එබැවින් මූල්‍ය අපරාධ කොට්ඨාසය පිහිටුවමින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස එම ගැසට් නිවේදනය ක‍්‍රියාත්මකවීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටී.

