කාල්ටන් කුසලානය රට වටා යාම අරඹයි


කාල්ටන් සත් සාමාජික රග්බි තරගාවලියේ ශුරයන්ට පිරිනැමෙන කුසලානය පසුගියදා රට වටා ගමන් ඇරඹීය. මෙම කුසලානය රට වටා යාමේ ගමන ආරම්භ කිරීමේ උත්සවය පසුගියදා අන්තර්ජාතික රග්බි මණ්ඩලයේ සභාපති බර්නාඞ් ලැෆසෙට් මහතාගේ ප‍්‍රධානත්වයෙන් නවීකරණ කළ කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී පැවැත්විණි.

තරගාවලියේ නිර්මාතෘ පාර්ලිමේන්තු මන්ත‍්‍රි නාමල් රාජපක්‍ෂ සහ ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න යන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගි වූහ.

විදේශිය ක‍්‍රීඩකයන් 40 ක් පමණ සහභාගි වන මෙවර තරගාවලියේ පළමු අදියර ජූලි මස 27 සහ 28 දිනවල ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැළසුම්කර තිබේ. එහි දෙවැනි අදියර අගෝස්තු මස 3 සහ 4 දෙදින කොළඹ සී. ආර් කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන්ට මිලියන ගණනින් මුදල් හිමි වන මෙම තරගාවලියට ශ්‍රී ලංකාවේ පළාත් 9 කින් කණ්ඩායම් 10 ක් සහභාගි වෙති. උතුරු පළාතෙන් කණ්ඩායම් දෙකක් ඉදිරිපත් වී තිබේ.

පළමු වරට පැවැති නායකයන් වෙන්දේසියේදී ශ්‍රී ලංකා රග්බි පිලේ නායක යෝෂිත රාජපක්‍ෂ රුපියල් මිලියන 11 කට හෙවත් රුපියල් ලක්‍ෂ 110 කට බස්නාහිර වොරියස් පිල විසින් මිලදී ගන්නා ලදි.

මෙවර තරගාවලියේ කණ්ඩායම් 10 ට ක‍්‍රීඩකයන් 15 දෙනා බැගින් ක‍්‍රීඩකයන් 150 දෙනකු වෙන්දේසියකින් තෝරාගත් අතර එහිදී ක‍්‍රීඩකයන් 22 දෙනකුට රුපියල් මිලියනයක හෝ ඊට වැඩි වටිනාකමක් හිමිවිය.

අන්තර්ජාතික රග්බි සංගමයේ සභාපති බර්නාඞ් ලැෆසෙට් මහතා විසින් කාල්ටන් රග්බි කුසලාන විශේෂ පීඨිකාවක් මත තැන්පත් කරන ලද අවස්ථාව. කාල්ටන් සත් සාමාජික රග්බි තරගාවලියේ නිර්මාතෘ පාර්ලිමේන්තු මන්ත‍්‍රි නාමල් රාජපක්‍ෂ මහතාද ඡයාරූපයේ සිටී.

කණ්ඩායම් 10 යේ නියෝජිතයෝ ආරාධිත අමුත්තන් සමග.

(ඡයාරූප: සුමින්ද සුදර්ශන පතිරණ)

(●●)