කාලතුවක්කුවට සිරවූ සිසුවිය රෝහලේ


(තරිඳු ජයවර්ධන)

අධ්‍යාපන චාරිකාවක් අතරතුරදී ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ කාලතුවක්කුවකට සිරවී අනතුරට පත්වූ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයයේ නව වැනි ශ්‍රේණියේ දැරියක දින තුනක් තිස්සේ ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග කියයි.

ගම්පහ සිට ත්‍රිකුණාමලයට පාසලෙන් අධ්‍යාපන චාරිකාවකට සිසුවියන් රැගෙන ගොස් ඇතැයි ද, ඔවුන් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ කෞතුකාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වී ඇතැයි ද, ඒ අවස්ථාවේ එහි තිබූ විෂාල කාලතුවක්කුවක් තවත් සිසුවියන් පිරිසක් විසින් තල්ලු කරද්දී එක් සිසුවියක ඊට සිරවී ඇතැයි ද නාවික හමුදාවේ ආරංචි මාර්ග සඳහන් කරයි. එම සිදුවීමෙන් පසු නාවික හමුදාව හා ගුරුවරුන් එක්ව සිසුවිය ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර තිබේ.

ඇගේ අක්මාවට හා අස්ථිවලට සුළු තුවාල සිදුවී ඇතැයි ස්කෑන් පරීක්ෂණයෙන් පෙනුණු නිසා නේවාසිකව ප්‍රතිකාර ලබා දුන් බවත්, දැන් තත්ත්වය සුව අතට හැරී ඇති බවත්, දැන් ඇය විවේකීව සිටින බවත් ත්‍රිකුණාමලය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනුෂා රාජ්මෝගන් මහත්මිය ප්‍රකාශ කළාය.

මේ ගැන කළ විමසීමකදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක චමින්ද වලාකුළුගේ මහතා කීවේ මෙම සිදුවීම වී ඇත්තේ නාවික හමුදාවේ නොසැලකිල්ල නිසා නොවන බවයි. සිද්ධිය වූ දා පාසල් ළමයින් 300කට ආසන්න පිරිසක් අධ්‍යාපන චාරිකාවකට පැමිණි බව ද, කණ්ඩායම් වශයෙන් ඔවුන් එක් එක් අංශව නිරීක්ෂණයට ගිය බව ද, නාවික හමුදා සාමාජිකයෙකු එක් සිසුවියන් කණ්ඩායමකට කාල තුවක්කු ගැන කියා දෙමින් සිටිය දී මෙම අනතුර වී ඇති බව ද වළාකුළුගේ මහතා ප්‍රකාශ කළේය.

අධ්‍යාපන චාරිකාවලට කැඳවාගෙන යද්දී ගුරුවරුන් මීට වඩා අවධායනයෙන් කටයුතු කළ බව නාවික හමුදාවේ උසස් නිලධාරියෙක් පැවසීය. ගුරුවරුන්ගේ අවධානය මත මෙවන් අනතුරු වළක්වා ගත හැකි බව ද ඔහු කීවේය.