ශ්‍රී ලංකාවේ පුවත්පත් ඉතිහාසයේ පතාක යෝධයකුවූ ඩී.ඇෆ්.කාරියකරවන මහතා (94) අභාවප්‍රාප්ත විය.
ඔහුගේ ඉල්ලීම අනුව 24 පැයක් ඇතුළත අවසන් කටයුතු සිදුකරමින් දේහය කඩුවෙල නෙවිල් ප්‍රනාන්දු රෝහලට බාරදෙන බව සමීප නෑයෝ කියති.
කාරියකරවන මහතා දශක 8කට ආසන්න කාලයක් පුවත්පත් කලාවේ යෙදී සිටියේය. මීගමුවේ උපන් ඔහු මුලින්ම පුහුණු ගුරුවරයෙක් විය. සිංහල බස මනා ලෙස හැසිරවීමේ දක්ෂතාවයක් තිබූ ඔහුගේ ශෛලිය බොහෝ පාඨකයන්ගේ සිත් ගත්තේය. නිවැරදි සිංහලෙන් ලිවීමේ වැදගත්කම ඔහු සැමවිටම පෙන්වා දුන්නේය.
ලේක් හවුස් ආයතනයේ දිනමිණ පත්‍රයේ උප කර්තෘවරයකුවූ කාරියකරවන මහතා ජනතා හා සිළුමිණ පත්‍රවල කර්තෘවරයා විය. ජනතා පත්‍රයේ ඔහු කර්තෘවරයාවූ සමයේ සුවිශේෂ සිද්ධියක් වූයේ හොඳ සිංහලය වෙනුවෙන් සම්මත සිංහල සටන ශක්තිමත් කිරීමයි. ප්‍රධාන පෙළේ පුවත්පත් ඊට එරෙහි වෙද්දී ඔහු හිටපු අධ්‍යාපන ඇමැති අයි.එම්.ආර්.ඒ.ඊරියගොල්ල මහතාගේ සම්මත සිංහලය මගින් මුළු රටේම සම්මතයක් ඇති කරගැනීමට වෙහෙසුණේය.
ලංකා පත්‍ර කලා සංගමයේ පුරෝගාමියකුවූ ඔහු නවක මාධ්‍යවේදීන්ට බෙහෙවින් අත දුන්නේය. ජනමාධ්‍ය කලා පාඨමාලා මගින් ඔවුන් අතර උනන්දුවක් ඇතිකිරීමට ඔහු බොහෝ වෙහෙසවීය.
ලේක් හවුස් ආයතනයෙන් විශ්‍රාාම ගැනීමෙන් පසු කාරියකරවන මහතා ලේඛන කලාවේ නියැලී සිටියේය. එතෙර මෙතෙර සිය අත්දැකීම් අළලා ඔහු විසින් පොත් රැසක්ම ලියන ලද්දේය. ඒ හැම පොතක්ම එක හුස්මට කියවා නිමකළ හැකි බව බොහෝ පාඨකයෝ කියති.
කාරියකරවන මහතාගේ අවසන් තීරු ලිපිය සඳුදා ලංකාදීපයේ පළවිය.

