
(අංජුල මහික වීරරත්න)
තුල්හිරිය සීමාසහිත කාබුල් ලංකා පෞද්ගලික සමාගමේ සේවකයින් පහළොස් දෙනෙකුට සහ ජාතික පේෂ කර්ම සංස්ථාවට අයත්ව තිබු තුල්හිරිය හා පූගොඩ පේෂ කර්මාන්ත ශාලා වල රැකියා අහිමි වූ මෙතෙක් වන්දි ලබා ගෙන නොමැති සේවකයන් හට සහන සැලසීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
තුල්හිරිය සීමාසහිත කාබුල් ලංකා පෞද්ගලික සමාගම වසා දැමීම හේතුවෙන් අගතියට පත් සේවකයින්ට වන්දි හා අනෙකුත් ව්‍යවස්ථාපිත දීමනා ගෙවීම පිණිස පියවර ගෙන ඇති අතර, එලෙස වන්දි ලබා නොගත් තවත් සේවකයින් 15 දෙනෙකු සිය වන්දි හිමිකම් ලබා දෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කර ඇත. එසේම, ජාතික පේෂකර්ම සංස්ථාවට අයත්ව තිබූ තුල්හිරිය සහ පූගොඩ පේෂ කර්මාන්ත ශාලාවල සේවය කළ 1978දී රැකියාව අහිමි වූ සේවකයින්ට වන්දි ගෙවීම සඳහා 2025-05-26 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබා දෙන ලද අනුමැතිය පරිදි මේ වන විට සේවකයින් 1,656 ක් සඳහා ගෙවීම් සිදු කර තිබේ. මුල් අවස්ථාවේදී ඉදිරිපත් වී නොමැති තවත් සේවකයින් 169 දෙනෙකු මේ වන විට සිය අයදුම්පත් ඉදිරිපත් කර ඇත.
ඒ අනුව, තුල්හිරිය සීමාසහිත කාබුල් ලංකා පුද්ගලික සමාගමේ සේවකයින් 15 දෙනා වෙනුවෙන් වන්දි සහ අනෙකුත් ව්‍යවස්ථාපිත හිමිකම ගෙවීම සඳහා සහ තුල්හිරිය සහ පූගොඩ පේෂ කර්මාන්ත ශාලා වල සේවය කර රැකියාව අහිමි වූ තවත් සේවකයින් 169 ක් සඳහා ගෙවීම් සිදු කිරීම පිණිස කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

