කාදිනල් තුමන්ගෙන් වෙසක් පණිවිඩයක්


(යොහාන් භාසුර)

අවිද්‍යාවෙන් අඳුරු වූ මිනිස් සිත ආත්මාර්ථයේ මලපත්වලින් මුදවා ලෝකයේ යථා ස්වභාවයට අවදිකිරීම සඳහා ප්‍රකට කරන සාරගර්භ බුද්ධි සංවාදය බුදුරජාණන් වහන්සේ දේශනා කළ උත්තරීතර ධර්මය තුළ කැපී පෙණෙන කරුණුක් බවත් විද්‍යාවෙන් සහ තාක්‍ෂණයෙන් කෙතරම් දියුණු තත්වයක සමාජය සිටියත් මිනිසා මනසින් උසස් ජීවිත ගතකිරීමට අපොහොසත් වන කාලවකවානුව අවබෝධයත්, ආලෝකයත්, යථාර්ථයට අවදිවීමක් වෙන කවදාටත් වඩා වර්තමානයට අවශ්‍ය බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ වෙසක් දින පණිවුඩයෙන් පවසති.

අතලොස්සක් දෙනෙක්ගේ බලකාමී ක්‍රියා නිසා පිරිහෙන දූපතක් බවට අප රට පත්වෙමින් තිබුණත් චිත්ත ශක්තිය සහ සමාජ පරිඥානය අතින් බැලූ කළ අප ජනතාව ඉදිරියෙන් සිටින බවත් වසර දෙදහස් පන්සියයකට වඩා වැඩි කාලයක් තිස්සේ අපේ ජන විඥානයත් සමාජ සංස්කෘතියත් හැඩගැස්වූ බෞද්ධ ශිෂ්ටාචාරය සහ ශික්‍ෂණයට එයට හේතුව බවත් අගරදගුරුතුමෝ කියති.

රටක වටිනාතම වත්කම වන ජනතාවගේ උගත්කම ආධ්‍යාත්මිකත්වය සහ යහ පැවැත්මෙන් පොහොණි කිරීමට බෞද්ධ චින්තනයෙන් ලැබී ඇති දායකත්වය අපමණ බව කියන මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ එබැවින් මෙවන් අවස්ථාවක මෙම උතුම් ධර්මය ප්‍රකට කරන දහම් ගුණ තව දුරටත් වර්ධනය කරගනිමින් අපට රට තුළ ජාතීන් හා විවිධ ආගමිකයන් අතර සහෝදරත්වයත් එකිනෙකා පිළිගැනීමේ ප්‍රවණතාවයත් ප්‍රගුණ කිරීම අප සැමගේ යුතුකම බව ද සඳහන් කරති.

ගෞතම බුදුරජාණන් වහන්සේගේ උපත, බුද්ධත්වයට පත්වීම සහ පිරිනිවන්පෑම යන තෙමඟුල සිහිකරන වෙසක් මංගලෝත්සවයේදී අති ගෞරවනීය ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සංඝයා වහන්සේට ද, ශ්‍රී ලංකාවාසී ආදරණීය බොදුනු සහෝදර සහෝදරියන් සියලුදෙනාට ද ශිල ශ්‍රද්ධාවෙන් සහ බුද්ධාලම්භන ප්‍රීතියෙන් පිරි වෙසක් මංගල්‍යයක් වේවායි කොළඹ අගරදගුරුතුමෝ ප්‍රාර්ථානා කරති.