
(අංජුල මහික වීරරත්න)
සෑම ප්‍රජාවකටම සංස්කෘතික-පෞද්ගලික සහ දේශපාලනික ජීවිත කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට හැකිවන පරිදි ප්‍රතිපත්ති සැලසුම් කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
"සංඥා භාෂා අයිතිය නොමැති නම් මානව අයිතිවාසිකම් අහිමිය යන්න" තේමා කර ගනිමින් බත්තරමුල්ල සුහුරුපායේ අද (23) පැවති ජාතික සංඥා භාෂා දින සැමරුම් උළෙල අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
"එක්ව අත් නොහැර සැම අතින්ම සමානාත්මතාවයෙන් යුතු සමාජයක් නිර්මාණය කිරීම රජයේ ප්‍රධාන අරමුණයි. සංඥා භාෂාව අප සියලු දෙනා උගෙන ගැනීමෙන් එම ප්‍රජාවටද වෙනසකින් තොරව ජීවත්විය හැකි පරිසරයක් ගොඩ නැගෙනවා. එවැනි පරිසරයක් තුළ මානව අයිතිවාසිකම් සුරකෙන සමාජයක් ගොඩනැගිය හැකි බව රජය විශ්වාස කරනවා" යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය කීවාය.
සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ,පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහත්වරුද මීට සහභාගී වූහ.

