(යොහාන් භාසුර)
ජාතික ඔලිම්පික් කමිටුවේ අර්බුදය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩාව නිදහසේ කරගෙන යෑමට තවදුරටත් බාධාවක් නොවිය යුතු බවත් සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකටම නිදහසේ ක්‍රීඩාව කරගෙන යෑමට ඉඩකඩ සැලසිය යුතු බවත් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අද (16) පැවසීය.
ජාතික ඔලිම්පික් කමිටුව පිළිබඳව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් ගනු ලැබ ඇති තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක සභිකයින් ක්‍රීඩා අමාත්‍යාංශය වෙත අද ( 16 ) දින කැඳවූ අවස්ථාවේදී අමාත්‍යවරයා එසේ පැවසීය.
මෙම අර්බුදය වසරක පමණ කාල සීමාවක සිට පැන නැගෙමින් එන කාරණයක් බවත් එය ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ අභ්‍යන්තර පරිපාලන අර්බුදයක් නිසා ඉතා ඉක්මනින් විසදා ගැනීම වෙනුවෙන් ක්‍රියා මාර්ග ගත යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
ජාතික ඔලිම්පික් කමිටුව තුළ ඇතිව තිබෙන අභ්‍යන්තර අර්බුදය විසදා ගැනීම වෙනුවෙන් ජාතික ඔලිම්පික් කමිටුව වෙත තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය ලෙස ලබා දිය හැකි උපරිම සහයෝගය ලබා දෙන බව අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටි අතර මින් ඉදිරියට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නිර්දේශයන්ට අනුකුලව කටයුතු කරන ලෙස ජාතික ඔලිම්පික් කමිටුව වෙත අවධාරණය කර සිටියේය.
මෙම අවස්ථාවට ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් අරුණ බණ්ඩාර ඇතුලු නිලධාරීන් එක්වූ අතර ජාතික ඔලිම්පික් කමිටුව නියෝජනය කරමින් එහි සභාපති, ලේකම් ඇතුලු විධායක කමිටුවේ සාමාජිකයින් ද සහභාගී වූහ.