කළමනාකරණ සහකාර නිලධාරීන් 1000 කට පත්වීම්


කළමනාකරණ සහකාර 111 වන පන්තියේ තරඟ විභාගය සමත් වූවන් අතුරින් 1000 කට වැඩි පිරිසකට පත්වීම් ලිපි අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැති උත්සවයකදී  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රදානය කරන ලදි.

රට සීඝ්‍ර දියුණුවක් කරා ගෙනයාමට අවශ්‍ය ආර්ථික න්‍යාය පත්‍රයක් ඉදිරි වසර කිහිපයේ සකස් කිරීමට තමන් පියවර ගන්නා බව මෙම උත්සවයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිතුමා සමඟ ද සාකච්ඡා කර මෙම න්‍යාය පත්‍රය සකස් කරන බව කී අග්‍රාමාත්‍යවරයා එහි අරමුණ 2030 - 2032 වන විට මේ රට වැඩි ආදායම් ආර්ථිකයක් ඇති රටක් බවට පත්කිරීම බව ද පැවසීය.

ප්‍රධාන පක්‍ෂ දෙක එක්වී ඇතිකළ ජාතික ආණ්ඩුව මගින් වෙනස් නොවන ජාතික ප්‍රතිපත්ති මාලාවක් ඇතිකරන බවද කී අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා  කවුරුන් බලයට ආවත් වෙනස් නොවන ප්‍රතිපත්තියක් ඇති එංගලන්තය, ඉන්දියාව වැනි රටවල තත්ත්වයට එක් පිම්මකින් ළංවීමේ හැකියාව ශ්‍රී ලංකාවට ලැබෙන බව ද සඳහන් කළේය.

GLA_1394 GLA_1408 GLA_1464