කළකිරුණා, ඒත් හේතුව කියන්න කැමති නෑ


 2017-02-23-ent-28

‘කතාවක් තියෙනවා ජීවිතේ අපට තවත් අවස්ථාවක් ලැබෙනවා කියලා වැරදුණ දේවල් හදා ගන්න...’

‘ජීවිතේට බයේ ජීවිතෙන් පැනලා යන්න හදපු මට ජීවිතේ ගැන ආසාවක් ඇති කරපු දෙන්නෙක් ඉන්නවා. එක් කෙනෙක් මගේ අම්මා, අනිත් කෙනා.................

ඒ අනුහස්ගේ ආදරේ....’

‘දෙවැනි ඉනිම’ මේ දිනවල ඔඪ දෙරණ ඔස්සේ විකාශය වන ඉතා ජනප‍්‍රිය ටෙලි නාට්‍යයක්. සාරංග මෙන්ඩිස්ගේ අධ්‍යක්ෂණයෙන් සහ සමන් එදිරිමුණිගේ රචනයෙන් හැඩවුණු මෙහි ප‍්‍රධාන චරිතයක් අද අපි කතා බහට එකතු කර ගත්තා. ඔහු රවීන් කණිෂ්ක.

යෞවනයේ සිහින සැබෑ කරන සිහින වේදිකාවකින් ගායන තරුවක් වුණු ඔහු ගායන ලෝකේ පේ‍්‍රක්ෂක ආකර්ෂණය දිනාගැනීමට සමත් වුණා. එදා ගායකයෙක් වුණු රවීන් අද ටෙලි පේ‍්‍රක්ෂකාගාරයේ නළුවෙක් වෙලා.

 

ඉතින් කොහොමද ජීවිතේ?

2017-02-23-ent-27ජීවිතේ නම් සරලයි. සැහැල්ලූයි. වේදනාවක් නැතුව ගලා ගෙන යනවා. ”දෙවැනි ඉනිම” ටෙලි නාට්‍යයේ වැඩයි, ස්ටාර් සිටි එකේ වැඩයි නිසා මේ දවස්වල චුට්ටක් විතර කාර්යය බහුලයි.

 

ඒ වැඩවලට අමතරව මොනවද අලූත් වැඩ?

ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලටයි, ස්ටාර් සිටි එකේ පුහුණු වීම්වලටයි කාලය ගෙවුණම වෙන කිසිම දෙයක් කරන්න වෙලාවක් නැහැ. දැනට නම් ඒ වැඩවලට කැප වෙලා ඉන්නවා. අලූත් වැඩ මුකුත්ම පටන් ගත්තේ නැහැ.

 

රවීන් රියැලිටිවලින් ගැලවෙන්නෙම නැහැ නේද?

ඇත්තටම මේ මම ස්ටාර් සිටි එකට සහභාගී වුණ දෙවැනි අවස්ථාව. මම එක එක දේවල් පස්සේ හඹාගෙන යන්නේ නැහැ. ඒත් මට රියැලිටියට නැවත ආරාධනා කළා. මම ඉතින් සතුටින් සභභාගී වුණා.

 

රවීන් ගායකයෙක් වුණාට දැන් නළුවෙක්නේ කොහොමද ඒ අවස්ථාව උදා වෙන්නේ?

ඇත්තටම ඒක හරි අහඹු අවස්ථාවක්. ලක්සිරි වික‍්‍රමගේ මහත්මයා සහ සාරංග මෙන්ඩිස් මහත්මයා තමයි මට ටෙලි නාට්‍යයට කතා කළේ. කවදාවත් කැමරාවක් ඉදිරියේ රඟපාල නැති මට රඟපාන්න කතා කරපු වෙලාවේ ලොකු බයක් දැනුණා. ඔවුන් දෙපළ කතා කරලා මෙහෙම වැඩක් තියෙනවා කරමු කිව්වට, වැඬේ කරන්න පටන් ගන්නකන්ම මට එච්චර විශ්වාසයක් තිබුණේ නැහැ. මොකද මම කවදාවත් රඟපාලා නැති නිසා.

 

මුලින්ම කැමරාව ඉදිරියට ආපු වෙලාවේ මොකද සිතුණේ?

මුලින්ම කැමරාව ඉදිරියට ආවම දාහක් දේවල් හිතට ආවා. දාඩිය දාලා ඇඟම සීතල වෙලා ගියා. රඟපානවා කියන්නේ සින්දු කියනවට වඩා අමාරු වැඩක් කියලා එදා මට හිතුණා.

 

ටෙලි නාට්‍ය කණ්ඩායමෙන් රවීන්ට හොඳ සහයෝගයක් ලැබුණද?

ඇත්තටම මම නවකයෙක් වුණත් කවුරුත් මාව පැත්තකට කළේ නැහැ. ප‍්‍රවීණ අය, සහෝදර කලා ශිල්පීන් වගේම අධ්‍යක්ෂවරයා ඇතුළු සියලූම දෙනාගෙන් මට වචනයෙන් කියන්න බැරි තරම් ලොකු සහයෝගයක් ලැබුණා.

විශේෂයෙන්ම අධ්‍යක්ෂ සාරංග මෙන්ඩිස් මහත්මයා ගෞරවයෙන් මතක් කරනවා. මම ක්ෂේත‍්‍රයට අලූත් කියලා ඔහු කිසිම වෙලාවක මට පීඩනයක් එල්ල කරලා නැහැ. කොයිම වෙලාවකවත් රවීන් ඔයා මෙහෙම කරන්න කියලා බලපෑම් කරලා නැහැ. ඔහු කතාව ඇතුළේ අනුහස් කියන චරිතය හොයා ගන්න මට උපරිම නිදහස දුන්නා. රඟපානවා කියන එක කාටවත් උගන්වන්න බැහැ. ඒක ඉගෙන ගන්න අපි අපේ චරිතෙට කිඳාබහින්නම ඕන. ඒකට මට ලැබුණු සහය විශිෂ්ටයි. මම රඟපෑවේ මට තේරෙන සහ මට පුළුවන් විදිහට. අඩුපාඩු ඇති තවම මම වැඬේ පටන් ගත්තා විතරනේ.

 

”අනුහස්” චරිතය ගැනත් ටිකක් කතා කරමු?

”අනුහස්” සාමාන්‍යයෙන් අහිංසක කෙනෙක්. පුංචි කාලේ ඉඳලා තාත්තගේ ආදරය අහිමි වුණා. හුදෙකලා වෙලා අම්මාගේ උණුහුම එක්ක හැදෙන අනුහස් පුංචි කාලේ ජීවිතේ මුහුණ දෙන්න වුණ අසාධාරණකම්, කෙනෙහිලිකම් නිසාම අනුහස්ගේ් අහිංසකකමට දඩබ්බර ගති, දරදඬු ගති එකතු වෙනවා.

කොහොම වුණත් ආදරය, හිමි වීම්, නොලැබීම්, දුක සතුට අතර ගලාගෙන යන හරිම ලස්සන කතාවක්. අනුහස් කියන්නේ ටිකක් අභියෝගාත්මක චරිතයක් කිව්වොත් නිවැරදියි.

 

අභියෝගාත්මකයි කිව්වේ? මොන වගේ අභියෝගයක් ද?

අහිංසක චරිතයක්. ටිකක් දඩබ්බර විදිහට කරනවා කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. පේ‍්‍රක්ෂකයාගේ අනුකම්පාව රඳවා ගන්නත් ඕන දඩබ්බරකම් කරන ගමන්මයි. ආධුනිකයෙක් විදිහට ඒක මට ලොකු අභියෝගයක්. මම කවදාවත් මේ වගේ අද්දැකීම් ලබලා නැති නිසා රඟපාන එක මට ගොඩක් දුෂ්කර වුණා. කොච්චර දුෂ්කරද කියනවනම් මට දමලා ගහලා එන්න හිතුණ වෙලාවල් අනන්නයි. හැබැයි ආයෙත් ඒ දර්ශන බලද්දී මේ රඟපාන්නේ මමද කියලා මටම පුදුම සතුටක් දැනුණා. දැන් කතාව බලන කොට මට මං ගැනම පුදුමයි. හිතා ගන්න බැරි තරම් ලොකු පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාරයක් ලැබෙනවා. ඒ ගැන ගොඩක් සතුටුයි.

 

කොහොම වුණත් ඔබ මිනිස්සු අතරට එන්නේ ගායකයෙක් විදිහට, එක පාරටම රංගනයට එන්න හිතුණේ දැන් සින්දු කියන එක එපා වෙලාද?

එපා වෙලා නැහැ කියන්නත් බැහැ. පොඩි කලකිරීමකුත් තියෙනවා. මම සංගීත ක්ෂේත‍්‍රයට ආවේ බලාපොරොත්තු ගොඩක් හිතේ තියාගෙන. ඒ බලාපොරොත්තු දාහෙන් එකක්වත් මට ඉටු කරගන්න බැරි වුණා. අද සංගීත කලාව යන පැත්තට මම අකමැතියි. දෙයක් අකමැත්තෙන් කරනවට වඩා හොඳයි පුළුවන් දෙයක් කරගෙන පැත්තකට වෙලා ඉන්න එක.

 

ඒ තරම් කලකිරීමක් ඇති වෙන්න හේතුව?

ඒ ගැන කතා කරන්න මම කැමති නැහැ. සංගීත ක්ෂේත‍්‍රය ගැන මට ගොඩක් කලකිරුණා. මට ඕන වුණා ටික කාලෙකට ඒ දේවල් අමතක කරලා සංගීතයෙන් ඈත් වෙන්න. මම සංගීතයෙන් ඉවත් වෙන්නේ නැහැ. මගේ ජීවිතේ සංගීතය මොන දේ කරත් මම අවසානයේ නතර වෙන්නේ සංගීතය එක්ක. මට පුළුවන් කියලා හිතෙන හැමදේම මම කරලා බලන්න උත්සාහ කරනවා. මම ගායකයෙක් විදිහට ක්ෂේත‍්‍රයට ආවා. අද මම නර්තනය කරනවා, රඟපානවා. නිවේදකයෙක් විදිහට වැඩ කරනවා. සංගීතය පැත්තෙන් කලකිරුණට ජීවිතේ මම ලබාගත්ත අනික් දේවල්වලින් මම ගොඩක් ඉදිරියට ඇවිත් තියෙනවා.

 

කාලයක් රවීන්ගේ ගීත ජනප‍්‍රිය නොවුණට රවීන් කියන චරිතය ජනප‍්‍රිය වුණා. ඒ රූපය නිසාද?

ඇත්තටම මගේ ගීත ජනප‍්‍රිය නොවුණට පේ‍්‍රක්ෂකයෝ මට ගොඩක් ආදරය කළා. අදටත් එහෙමයි. ඒකට හේතුව මම අදටත් දන්නේ නැහැ.

 

මෙහෙම ගිහින් ඉස්සරහට රවීන් වෘත්තියම නළුවෙක් වේවිද?

අපෝ නැහැ. ටෙලි නාට්‍ය ක්ෂේත‍්‍රයේ දිගටම රැුඳෙන්න මගේ කැමැත්තක් නැහැ. හැබැයි චිත‍්‍රපටයක රඟපාන්න ලොකු ආසාවක් තියෙනවා.

 

තරුණයෙක් විදිහට ආදරේ ගැන රවීන්ට මොකද හිතෙන්නේ?

ආදරේ කියන්නේ කෑම තරම්ම අවශ්‍ය දෙයක්.

 

ඒ කියන්නේ රවීන් පේ‍්‍රමවන්තයෙක්?

ඒ ප‍්‍රශ්නයට අපි ඉඩතියමු නේද? ප‍්‍රසිද්ධ මාධ්‍යයේ ආදරේ ගැන කතා කරන්න මම කැමති නැහැ.

 

රවීන්ගේ පවුලේ තොරතුරු ටිකකුත් කියමු?

අම්මා ගුරුවරියක්, තාත්තා ග‍්‍රාම නිලධාරිවරයෙක්, නංගියි, මල්ලි තවම අධ්‍යාපනය හදාරනවා. මගේ අම්මටයි තාත්තටයි ඕන වුණේ මාව වෛද්‍යවරයෙක් හෝ ඉංජිනේරුවෙක් කරන්න. ඒත් මට ඕන වුණේ මම කැමති පැත්තට යන්න. මේක ගෙදර අකමැත්තෙන් ගෙදරට මුරණ්ඩු වෙලා ආපු ගමනක් වුණත් අද මම ඉන්න තැන ගැන මගේ දෙමාපියෝ හදවතින්ම සතුටු වෙනවා. මේක මම බොහොම දුක් මහන්සියෙන් ආපු ගමනක්.

 

නදීශා අතුකෝරළ