පාසල් ළමයින් ගෙන යන වාහනවල රජයේ නියමය අනුව කහ වර්ණ ආලේප කිරීමට රුපියල් ලක්ෂයක පමණ මුදලක් වැය වන බවත්, එවැනි මුදලක් තමනට වැය කළ නොහැකි බවත් බස්නාහිර පළාත් පාසල් ළමයින් ප්‍රවාහන හිමිකරුවන්ගේ සංගමය කියයි.
එම සංගමයේ සභාපති ජයන්ත පෙරේරා මහතා පැවසුවේ වාහන නඩත්තු වියදම්, බලපත් ගාස්තු ආදියට විශාල වියදමක් යන බවයි. බස්නාහිර පළාතේ ආදායම් බලපත් ගාස්තුව ද මෑතක දී සියයට 10කින් වැඩි කළ බව ද, කහ වර්ණ ආලේප කළ හොත් තම වාහන පෞද්ගලික වැඩකට යොදා ගත නොහැකි වන බව ද හෙතෙම පවසයි.
පාසල් වෑන් රථ හිමියන් කිහිප දෙනකුම පැවසුවේ තීන්ත ආලේප කිරීමට අඩු තරමේ සති දෙකක්වත් යන බවයි.
පාසල් නිවාඩු දිනවල තම වාහනය වෙනත් ගමන් බිමන් සඳහා යොදවන බවත්, කහ වර්ණ ආලේප කළහොත් එවැනි ගමන් සඳහා වෑන්රිය යොදවා ගත නොහැකි වන බවත්, ඒ නිසා ගැටළු රාශියකට තමන් මුහුණ දෙන්නට සිදු වනු ඇති බවත් පාසල් වෑන් හිමියෝ කියති.
පාසල් ළමයින් ගෙන යන බව පෙන්වීමට ස්ටිකරයක් ඇලවීමට තමන් කැමති බවත්, විශාල අමතර වියදමක් දරා තින්ත අලේප කරනවාට වඩා එය පහසු බවත් ඔවුහු කියති.
සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමයින් ප්‍රවාහන සේවා සංගමයේ ලේකම් කිත්සිරි අමරසිංහ මහතා පැවසුවේ වෑන් රථ කහපාට කරන්නැයි දුන් නියෝගයෙන් තම සාමාජිකයන් කබලෙන් ලිපට වැටී ඇති බවයි.
පාසල් ළමයින් ප්‍රවාහනය කිරීමේ සේවාවට නීතිමය තත්ත්වයක් ලබාදී ප්‍රමිති කරණයක් ඇති කර සහන ලබා දෙන ලෙසටත්, පාසල් අවසන් වන තෙක් එම වාහන නවතා තැබීමට ස්ථාන ලබා දෙන ලෙසට පළාත් පාලන ආයතන දැනුවත් කරන ලෙසටත්, එම සේවාවට වෙනම ආයතනයක් බවත් කරන ලෙසටත් තමන් බලධාරීන්ගෙන් ඉල්ලීම් කර ඇති බව කී අමරසිංහ මහතා කහ වර්ණ ආලේප කිරීමේ නව නීතිය ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා සිටින බව ද කියයි.