
(ගයාන් සූරිය ආරච්චි)
රාජාංගනය, කලා ඔය ප්‍රදේශයේ බස් රථයෙන් මුදවාගෙන අසල පිහිටි නිවසක වහලය මත රඳවා තැබූ පිරිස බේරා ගැනීම සඳහා නාවික හමුදාව මේ වනවිට විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාණ්ඩර් බුද්ධික සම්පත් මහතා පැවසීය.
එම පිරිස බේරා ගැනීම සඳහා බෝට්ටු මගින් දහවල් කාලයේ සිට බේරා ගැනීම සඳහා මෙහෙයුම් දියත් කළ ද පවතින අයහපත් කාලගුණය හේතුවෙන් බෝට්ටුවලට හානි සිදුවී තිබූ බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
එම ප්‍රදේශයේ අධික ගංවතුර තත්ත්වය සහ අධික වර්ෂාව සහ සුළං හේතුවෙන් නාවික හමුදා නිලධාරීන්ට එම ස්ථානයට ළඟා වීමට අපහසු වී ඇති අතර එම පිරිස සමග තොරතුරු හුවමාරු කර ගැනීමට හැකියාවක් නොමැති බව බුද්ධික සම්පත් මහතා කීය.
කෙසේ වෙතත් ඉතා කඩිනමින් විශේෂ මෙහෙයුමක් දියත් කර එම පිරිස මුදවා ගැනීමට කටයුතු කරන බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
පවතින අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් රාජාංගනය කලා ඔය ප්‍රදේශයේ බස් රථයක මගීන් පිරිසක් සිර වී සිටින බවට ලද තොරතුරු මත ආරක්ෂක අංශ නිලධාරීන් විසින් ඔවුන් පිරිස බස් රථයෙන් මුදවා ඒ ආසන්නයේ පිහිටි නිවසක කොන්ක්‍රීට් වහලය මත ආරක්ෂිතව රඳවා තිබුණි.

