කල්පිටියේ වැලිපර අභය භූමියේ කොරල්පර විනාශයි


(හිරාන් ප්‍රියංකර)

දෙස් විදෙස් සංචාරකයින්ගේ නෙත් වසඟයට පත් කළ කල්පිටිය වැලි පර අභය භුමියේ දැවැන්තම කොරල් පර දෙකම මේ වන විට මිනිස් ක්‍රියාකාරකම් හා සාගර උෂ්ණත්වය ඉහළ යාම නිසා  විනාශ වී ඇති බව වයඹ විශ්ව විද්‍යාලයේ  පශු සම්පත් ධිවර හා පෝෂණ පිඨයේ ජේෂ්ඨ කථිකාචාර්ය සෙව්වන්දි ජයකොඩි මහත්මිය කියන්නීය. සෙව්වන්දි ජයකොඩි මහත්මිය මේ බව පැවසුවේ වැලි පර අභය භුමියේ මේවන විට පවතින තත්වය පිළිබඳව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම් උදය ආර්. සෙනවිරත්න මහතා හා රාජ්‍ය නිලධාරින් සමග වැලි පර අභය භුමියේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

ශ්‍රී ලංකාවේ විශාලතම හා සුන්දරම  කොරල් පර දෙකකින් සමන්විත වු කල්පිටිය වැලි පර අභය භුමිය 1992 අප්‍රේල් 3 වන දින වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ අභය භුමියක් ලෙස ප්‍රකාශයට පත් කළේය.  වන ජීවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුව යටතේ පාලනය වන මෙම වැලි පර අභය භුමිය තුළ මෘදු හා දෘඩ යන කොරල් වර්ග දෙකකින් සමන්විතව තිබෙන අතර කල්පිටිය කුඩාව වෙරළ තිරයෙ සිට මුහුදු සැතපුම් 12 ක පමණ දුරකින් මුහුදේ  පිහිටා තිබේ. එය හෙක්ටයාර් 306.7 ක විශාලත්වයකින් සමන්විත බව කියයි.

 මෙහිදි අදහස් දැක්වු පරිසර අමාත්‍යංශයේ ලේකම් උදය ආර් සෙනවිරත්න මහතා කීවේ ඉතිරි සුළු ප්‍රමාණය ආරක්ෂා කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

“දැනට තිබේන තොරතුරු හා අද දවසේ අපි නිරික්ෂණය අනුව පෙනී යන්නේ කල්පිටිය කොරල් පර දෙකම මේ වන විට 99% කට වැඩි ප්‍රමාණයක් විනාශ වි අවසන් බවයි. මෙය බරපතල තත්වයක්.  මේ නිසා ඉතිරිව තිබෙන සුළු ප්‍රමාණය හෝ ආරක්ෂා කිරිමවත් අපේ යුතු කමක් ඒ සදහා ඉදිරි සති දෙක තුළදි අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්න සුදානම් . ඒ එක්කම මේ පිළිබදව අදාල රාජ්‍ය ආයතන වලට ගත යුතු ක්‍රියා මාර්ග කුමක් දැයි දැන්විමටත් කටයුතු කර තිබේනවා “ යැයිද සෙනවිරත්න මහතා කීවේය.