අජිත්ලාල් ශාන්තඋදය
කලවාන ප‍්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායක ජානක මොල්ලිගොඩ මහතා ලබන 17 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයට පත් කරන ලෙස නියම කළ රත්නපුර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් සාලිය චන්න අභයරත්න මහතා බන්ධනාගාරය හරහා ඔහු මානසික ද්‍යෛවරියක් වෙත ඉදිරිපත් කර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියම කළේ ය.
පහරදීමක් සම්බන්ධ නඩු විභාගය සඳහා අධිකරණයට නොපැමිණීම මත අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තු නියෝගයක් අනුව අධිකරණය හමුවට සැකකරු ඉදිරිපත් වූ අවස්ථාවේ මහේස්ත‍්‍රාත්වරයා ඉහත නියෝගය නිකුත් කරනු ලැබීය.
රිමාන්ඩ් බාරයට පත්වූ සැකකරුට එරෙහිව කලාවන ප්‍රාදේශීය ලේකම්වරියට දුරකතනයෙන් බැන තර්ජනය කිරීම සම්බන්ධ නඩුවක් කලවාන සංචාරක මහේස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වන අතර මේ වනවිට එය නීතිපතිවරයා හමුවට ඉදිරිපත් කර ඇත.
මීට ඉහත දී කලවාන ප‍්‍රාදේශීය ලේකම්වරිය කලවාන පොලීසියට කළ පැමිණිල්ලක් අනුව සැකකරුගේ තර්ජන හමුවේ ඇයට පොලිස් ආරක්‍ෂාව ද සපයා තිබිණි.
පසුගිය 9 වැනි දා කලවානේ සිට රත්නපුර දක්වා ධාවනය වන පෞද්ගලික සහ ලංගම බස් වර්ජනයක් පැවති අවස්ථාවේ කලවාන ලංගම ඩිපෝවේ වේලා සටහන්කරුවෙක් වූ අනුර ගුණරත්න යන අයට පහරදීම සහ පෞද්ගලික බස් ධාවන සටහන්කරුවෙක් වූ අරවින්ද ලක්මාල් යන අයට මරණ තර්ජන කිරීමක් සම්බන්ධ සැකකරුට එරෙහිව පැමිණිලි ලැබී ඇතැයි ද පොලීසිය අධිකරණයට දැන්වීය.

