කලකට පසු රුපියල ඉහළ යයි


හර්ෂණ තුෂාර සිල්වා

අඛණ්ඩව අවප්‍රමාණය වෙමින් තිබෙන ශ්‍රී ලංකා රුපියලේ අගය කලකට පසු අද (29) ඉහළ ගියේය.

ඊයේ (28) එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල 182.27ක් ලෙස දැක්වුණු අතර ශ්‍රී ලංකා මහ බැංකුව අද (29) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල 181.39ක් ලෙසත් ගැනුම් මිල 177.42ක් ලෙසත් සටහන් විය.මේ අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ශත 88කින් ඉහළ ගියේය.ඊයේ (28) ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය 182 සීමාව ඉක්මවා ගියේය.

ඉකුත් පෙබරවාරි මාසයේ පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පසු දිගින් දිගටම අවප්‍රමාණය වූ ශ්‍රී ලංකා රුපියල වත්මන් දේශපාලන අර්බුදය ආරම්භ වීමත් සමඟ තවදුරටත් අවප්‍රමාණය විය. එම කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 4කින් පහත වැටී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන දත්තවලට අනුව ජනවාරි 1 වැනිදා සිට නොවැම්බර් 23 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 14.3කින් අවප්‍රමාණය වී තිබේ.

‘රෙෆිනිටිව් ඉකෝන්’ ජාත්‍යන්තර මූල්‍ය විශ්ලේෂණ ආයතනයේ දත්තවලට අනුව එම කාලයේදී ශ්‍රී ලංකා රුපියල සියයට 17.2කින් අවප්‍රමාණය වී ඇත.
වසර 2010 දී ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම ඇරඹූ ‘මූඩිස්’ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනය පළමු වරට පසුගියදා (20) ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්හි පහළ දැමීය. වත්මන් දේශපාලන අර්බුදය දැනටමත් තිබෙන ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර කරනු ඇතැයි ද මූඩිස් ශ්‍රේණිගත ආයතනය එහිදි පෙන්වා දී තිබිණි. කෙසේ නමුත් එම පහළ දැමීම පදනම් විරහිත යැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට මීළඟ ණය වාරිකය ලබාදීම පිළිබඳ සාකච්ඡා ද කල් දමා ඇත.
මේ අතර ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත ප්‍රමාණය නොවැම්බර් 14 වැනිදා වනවිට එක්සත් ජනපද ඩොලර් බිලියන 7.2ක් වූ බවත් එය වසර අවසන් වනවිට ඩොලර් බිලියන 7.8ක් දක්වා වැඩිවනු ඇති බවත් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඉකුත් දිනෙක පැවැසීය