කඹුරුපිටියෙන් ආ යසස් ඔබේසේකරපුරදී මැරුම් කයි


ඔබේසේකරපුරේදී වෙඩි ප්‍රහාරයකට ලක් වූ කඹුරුපිටියේ හර්ෂ සී යසස් කොළඹ ජාතික රෝහලේදී මරණයට පත් විය.

ඔහුට අද(3) සවස මෙම වෙඩි ප්‍රහාරය එල්ල විය.

කඹුරුපිටිය ගෝදාව නදුන් උයනේ පදිංචි වී සිටි යසස් දක්ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ඩැනී හිත්තැටියගේ මහතාට වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු මිනිමැරීමේ සිද්ධීන් රැසක සැකකරුවෙකි. 

මදුෂ් ලක්ෂිත නොහොත් මදුෂ්කගේ ප්‍රධාන ගෝලයා ඔහු බවද කියති. ටී 56 ගිනි අවියක් ළඟ තබා ගැනීමේ චෝදනාවට හර්ෂ මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක මහින්ද කල්දේරා මහතා ඇතුළු කණ්ඩායමක් මාතර වෙරළ පාරේදී සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. ඒ වන විට ඔහු මාතර හක්මන පාරේ හාල් වෙළඳසලකට පැන රුපියල් ලක්ෂ තුනක් කොල්ලකෑමට හා මාතර බන්ධනාගාරයේ නිලධාරියකුට මරණීය තර්ජන එල්ල කිරීමේ සිද්ධියකට පොලිසියට අවශ්‍යව සිටියේය.

මාස ගණනාවක් බන්ධනාගාර ගතව සිටි හර්ෂ ඉකුත් 26 වැනිදා ඇප ලබා කොළඹට ගියේය. ඔහු ඇසුරු කරන කතක සමග ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට ගොස් නැවත ඔබේසේකරපුර නිවසට පැමිණ ඇත්තේ බදාදාය. 

ඌරුබොක්ක රොටුඹේ ඝාතන දෙකකට අකුරැස්ස තලහගම මිනීමැරුමකට, හොරපාවිට ඝාතනයකට තැත් කිරීම, කඹුරුපිටියේ ව්‍යාපාරිකයකුට අත් බෝම්බයක් පෙන්වා මරණ තර්ජන කිරීම ආදී අපරාධ රැසකට ද හර්ෂ ට එරෙහිව පැමිණිලි ලැබී තිබිණි. 

මාතර දිස්ත්‍රික්කයට අමතරව කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක සිදුවූ මිනිමැරුම් හා මංකොල්ලකෑම් ආදී අපරාධවලටද ඔහු සම්බන්ධ වී තිබෙන බවට පොලිසිය වෙත තොරතුරු ලැබී ඇත.

මුල් කාලයේ දී ඔහු කොළඹ බැංකුවක කාර්යාල සහායකයකු විය.

received_1059568100777063-ConvertImage yasas_2016332