කම්හලට දොස් කිව්වැයි ගත්තු සල්ලි ආපහු ඉල්ලති


රතුපස්වල ජල ගැටුමට විසඳුම්  ඉල්ලා  වැලිවේරියේදී කළ උද්ඝෝෂණයේදී වෙඩි වැදී තුවාල ලැබුවන් වෙනුවෙන් කර්මාන්ත ශාලාව විසින් ලබා දුන් ආදාර මුදල් එම ගනුදෙනුවේ අතර මැදියෙකු  ලෙස කටයුතු කළ  පුද්ගලයෙකු  විසින් නැවත ආපසු ඉල්ලමින් තමන්ට  බලපෑම් කරතියි  ගම්වැසියෙකු මල්වතු  හිරිපිටිය පොලීසියට අද පැමිණිලි කර ඇත.

පසුගිය අගෝස්තු පළවෙනිදා වැලිවේරිය නගරයේදී ගැමියන් හා යුද හමුදව අතර ඇති වූ ගැටුමෙන් පැමිණිලිකරුගේ පිටකොන්දට  වෙඩි වැදී තිබු අතර ඔහු රෝහල් ගතව  ප‍්‍රථිකාර ලබා ඇත. 


වෙඩි වැදීමෙන්  අසරණ වු පවුල් 25 කට රතුපස්වල රබර් අත්වැසුම් කම්හල වන වෙනිග්‍රොස් ආයතනය විසින් ප‍්‍රජා සත්කාරයක් ලෙස තුවාල කරුවන්ගේ ගෙන් ගෙට ගොස් පෙරේදා  ආධාර මුදල් පිරිනමා තිබණ අතර  පැමිණිළිකරුගේ නිවසටද ගොස් ඔහුගේ බිරිඳට   රුපියල් විසිපන්දහසක මුදලක් ලබා දී ඇත.
 

එම  මුදල්  බාර ගෙන ඇති ඔහු ඊයේ  රාත‍්‍රියේ රතුපස්වල ජල ගැටළුව පිළිබඳ පෞද්ගලික රූපවාහිණී නාලිකාවක  පැවිති සජීවී  වැඩසටහනකට සහභාගී වී ඇත.  එහිදී තමාට වෙඩි වැදුනු අයුරුත්  සහ මෙතෙක් වු සිද්ධින් පිළිබඳ අදහස් ප‍්‍රකාශ කර ඇත.

එම වැඩසටහන විකාශනය වු පසු  අද අළුයම එකට පමණ කර්මාන්ත ශාලාව හා තුවාලකරුවන් අතර මුදල් ගනුදෙනුවට මැදිහත් වු පුද්ගලයා සහ තවත් අයෙකු   ඔහුගේ නිවසට ගොස් ඔහු කර්මාන්ත ශාලාවට විරුද්ධව මාධ්‍යට අදහස් ප‍්‍රකාශ කර ඇතැයි කියමින් ලබා දුන් රුපියල් විසිපන්දහසක මුදල ආපසු  ඔහුගේ බිරිඳගෙන් ඉල්ලා ඇත.


සිද්ධිය සම්බන්ධයෙන් ජුඞ් පෙරේරා නැමැති පැමිණිලිකරු පවසන්නේ
     

‘‘මම    රූපවාහිණි වැඩසටහන ඉවර  වෙලා   ආපසු ගෙදර එන විට පාන්දර එකට විතර බිරිඳගෙන් දුරකතන ඇමතුමක් ආවා. ඇය කිව්වා දෙන්නෙක් ඇවිත්  දුන්න රුපියල් විසි පන්දහස  ආපහු ඉල්ලනවා කියා. 
 

පසුව බිරිඳ ඔවුන්ට දුරකතනය දුන්නා. මා කීවා ගෙදර ඉන්නේ ගහැණු අය විතරයි මම ආවම කියන තැනකට එන්නම්  දැන් ගොඩක් රෑ  වෙලා නිසා ඔයාලා ආපහු යන්න කියා. 
 

එවිට ඔවුන් කිව්වා ජුඞ් අයියේ මොනවද කරන බලූ වැඩ  සල්ලි අරගෙන ඇයි  ඕවට යන්නේ එහෙනම්  අපිට ආපහු සල්ලි  ඕනා කියා. අපි සල්ලි දෙනකම් ආපසු යන්නේ නැහැ.  අපි  සල්ලි දෙනකම් මෙතන බලන් ඉන්නවා කියා.


පස්සේ  මම වැලිවේරිය පොලිසියට ආවා. වැලිවේරියේ පොලිසියෙන් එවෙලෙම ජීප් එක ඇරියා අපේ ගෙදරට. ඒ වෙනකොට ඒ පුද්ගලයින් ගෙදරින් ගිහින් තිබුනා.  පොලිසියෙන් කිව්වා ඔයාට අයිති පොලිස් බල ප‍්‍රදේශය මල්වතු හිරිපිටිය දැන්ම ගිහින් එහෙ පැමිණිලි කරන්න කියා.
මම ඒ අනුව පැමිණි කළා‘‘.