කනිෂ්ඨ බැඞ්මින්ටන් ශූරයෝ රන්පදක්කම් දිනා එති


ඕස්ටේ‍්‍රලියානු ජාත්‍යන්තර කණිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලියේදී රන්පදක්කම් දෙකක් මෙන්ම තවත් ජයග‍්‍රහණ අත්කරගත් ශී‍්‍ර ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ අද (08) අලූයම දිවයිනට පැමිණියහ.
මෙම තරගාවලියේදී 19 න් පහළ යුගළ ඉසව්වේ ශූරතාවය දිනාගනිමින් රන් පදක්කම් හිමිකර ගැනීමට ගාල්ල රිච්මන්ඞ් විදුහලේ බුවනෙක දුල්ලෑව ගුණතිලක  සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ සචින් ඩයස් සමත් වූහ.

කොළඹ විශාඛා විදුහලේ සස්මිතා දයාරත්න, ගාල්ල සවුත්ලන්ඞ් විද්‍යාලයේ කාවින්දි දි සිල්වා, කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ කබෝද් හැලඹගේ, කොළඹ නාලන්ද විද්‍යාලයේ ඒ. මහේෂ්  යන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 19 න් පහළ පිරිමි සහ කාන්තා යුගළ තරගවලින් තෙවන ස්ථාන හිමිකරගැනීමට සමත්වූහ.

බැඩිමින්ටන් සංගමයේ නව සභාපති සුරාජ් දන්දෙනිය සහ හිටපු සභාපති පරාක‍්‍රම බස්නායක යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී ශී‍්‍ර ලංකා කනිෂ්ඨ බැඞ්මින්ටන් කණ්ඩායම උණුසුම් අන්දමින් පිළිගන්නා ලදි.

තරගාවලිය  පසුගිය 03 වැනිදා සිට 05 වැනිදා දක්වා,  රටවල් 8 ක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 96 ක සහභාගීත්වයෙන්  ඕස්ටේ‍්‍රලියාවේ වික්ටෝරියා ප‍්‍රාන්තයේදී පැවැත්විණි. ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ක‍්‍රීඩකයෝ 08 දෙනෙක් සහ ක‍්‍රීඩිකාවෝ 06 දෙනෙක් මෙම තරගාවලියට එක්වූහ.

පුහුණුකරු ලෙස ධනේෂ් මල්ලියවඩු මහතාද, කළමනාකරු ලෙස සමන් ධර්මප‍්‍රිය මහතාද, කී‍්‍රඩිකාවන් භාර නිලධාරිනිය ලෙස සුජීවා ද සිල්වා මහත්මියද මෙම සංචාරයට එක්වූහ.

ඡායාරූප - (ගුවන්තොටුපොළ දීපා අදිකාරි)