කන් වැසුම් අස්සේ කේරලයෙන් ගංජා ඇදලා


රුපියල් ලක්ෂ පහලොවක් වටිනා කේරල ගංජා පැකට් විස්සක් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට රැගෙන ඒමට තැත්කළ ශ්‍රී ලාංකිකයෙක් කටුනායකදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීය.

අත්අඩංගුවට ගනු ලැබූ කේරල ගංජා තොගයේ බර කිලෝග්‍රෑම් දහයකි. සැකකරු පුත්තලම ප්‍රදේශයේ පදංචි විසිතුන් හැවිරිදි තරුණයෙකි. ඔහු පහලොස් වතාවක් පමණ ඉන්දියාවට ගොස් ඇතැයි රේගු නිලධරයෝ කියති.

නියෝජ්‍ය රේගු අධිකාරී නිශාන්ත ජයසිංහ මහතා සැකකරුගේ ගමන් මළු පරික්ෂා කිරීමේදී කන් වැසුම් සමග තිබූ කේරල ගංජා සොයාගෙන ඇත. මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විෙජ්වීර මහතාගේ උපදෙස් පිට රේගු සමාජ ආරක්ෂණ අංශයේ රේගු අධ්‍යක්ෂක කේ.ඒ.ඩී නිකොලෂ්, ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් සහ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක අතුල ලංකාදේව යන මහත්වරුන්ගේ අධීක්ෂනය යටතේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ රේගු අධිකාරී නිහාල් අලහප්පෙරුම මහතාගේ මෙහෙයවීමෙන් නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන නිශාන්ත ජයසිංහ, එම්.අයි රෂීක්, උදය ගාමිණී, කීර්ති අබේසේකර, චන්දන ගමගේ, තිලින විජේසේකර, තනුෂ්ක විජේසූරිය, ප්‍රබුද්ධ පෙරේරා, උදේෂ් ජයවර්ධන යන නිලධාරීන් විසින් සිදුකරනු ලබයි.