ශ්‍රවණාබාධිත පුද්ගලයන් වෙනුවෙන් විශේෂිත බඳ පටියක් නිපදවූ මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු සිසු පිරිසක් ආසියා ශාන්තිකර කලාපයේ නව නිර්මාණ තරඟය සඳහා දකුණු ආසියාතික කලාපය නියෝජනය කිරීමේ අවස්ථාව දිනා ගැනීමට සමත්ව සිටිති.
කුඩා කම්පක හා මයික්‍රෆෝන කිහිපයක් උපකාරීකර ගනිමින් ආකාර දෙකකින් ශ්‍රව්‍ය හැකියාව වර්ධනය කිරීමට ඔවුන් මේ බඳපටිය නිපදවා ඇත. එහි ඇති කුඩා පරිගණකයක් මගින් ශබ්ද හඳුනාගෙන එයට අදාලව කම්පන තරංගයක් නිකුත් කරයි. ශබ්ද වෙන්කර හඳුනාගෙන කම්පන ආකාරය පහක් නිකුත් කිරීමේ හැකියාව ඇති මේ උපකරණය තවත් වැඩිදියුණු කරන බව එහි නිර්මාණකරුවෝ කියති. මෙය සිදුකර ඇත්තේ මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු පීඨයේ අවසන් වසර සිසුන් වූ හසල සක්විති රෝහණවංශ, එරංග ද සිල්වා සහ පේශාන් සම්පත් විසිනි. එම පීඨයේ ආචාර්ය වයි.ඩබ්ලිව්. රංජිත් අමරසිංහ මහතාගේ අධීක්ෂය යටතේ ඔවුන් මේ සමත්කම දක්වා ඇත.
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු පීඨ අතර පැවති තරඟාවලියකින් පළමු ස්ථානය දිනාගැනීමෙන් අනතුරුව ඔවුන්ට දකුණු ආසියානු කලාපීය තරඟාවලිය නියෝජනය කිරීමෙ අවස්ථාව ලැබිණි. එහි දී කලාපීය අවසන් වටයේ දී ඉන්දියාව හා පකිස්ථාන කණ්ඩායම් පරාජය කිරීමට ඔවුහු සමත්වූහ. ඒ අනුව ඔවුන් ලබන අප්‍රේල් මාසයේ දී නවසීලන්තයේ පැවැත්වෙන ආසියා ශාන්තිකර කලාපීය නිර්මාණ තරඟයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට නියමිතය.




