කතුන් පිරිසක් සැරයන්ට තඩිබා වරෙන්තු කරු මුදා ගෙන


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

රථවාහන නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු ලබා සිටි පුද්ගලයකු බෝගම්බරදී  අත්අඩංගුවට ගත් අවස්ථාවේ කාන්තාවක ඇතුළු 15 දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් කඩා වැදී පොලිස් සැරයන්වරයාට පහරදී සැකකරු මුදාගෙන පලාගොස් ඇතැයි මහනුවර මූලස්ථාන පොලිසිය පවසයි.

පොලිස් අත්අඩංගුවෙන් මුදාගෙන ගිය සැකකරු මහනුවර බෝගම්බර ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙකි.

අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි මෙම පුද්ගලයා පොලිස් සැරයන්වරයකු විසින් අත්අඩංගුවට ගනු ලැබ ත්‍රිරෝද රථයක ගොඩ නංවාගෙන පොලිස් ස්ථානය වෙත ගෙන ඒමට සූදානම් වී ඇතැයි පොලිසිය පවසයි.

කාන්තාවක ඇතුළු 15 දෙනකුගෙන් පමන සමන්විත කණ්ඩායමක් එම ස්ථානයට කඩා වැදී ත්‍රිරෝද රථය වටකර සැරයන්වරයාට පහරදී සැකකරු මුදාගෙන පලාගොස් ඇතැයි මහනුවර මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

අත්අඩංගුවෙන් මුදාගෙන රැගෙන ගිය වරෙන්තුකරු සහ ඊට සම්බන්ධ කාන්තාව ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට මහනුවර මූලස්ථාන පරීක්ෂණ පවත්වයි.