කතානායක බංගලාවේ වියදම් භාගයක්ම කපයි




(සුජිත් හේවාජුලිගේ)

කතානායක නිල නිවසේ ආහාර පාන ඇතුළු වියදම් සියයට පනහකින්  පමණ  කපා දමා ඇතැයි  පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

එම නිල නිවසේ ආහාරපාන  වෙනුවෙන් පසුගිය කාලයේදී රුපියල් ලක්ෂ තුනකට වැඩි මුදලක් මාසිකව වැය කර තිබූ බවද  ආරංචි මාර්ග පවසයි.

කතානායකවරයා එම නිවසේ පදිංචියට නොපැමිණීමට තීරණය කර ඇති නමුත්  පාර්ලිමේන්තුව වසා ඇති සති අන්තයේ විදේශීය රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් හමුවන අවස්ථාවන්හිදී පමණක් ඒ ස්ථානයට පැමිණ එම කටයුතු වලට සහභාගි වන බව  පැවසේ.

මේ අතර කථානායක නිල නිවසේ උද්‍යානයේ ගස්  කොලං සහ තණනිල්ල නඩත්තුව සඳහා නළ ජලය යොදා ගැනීම නතර කරන ලෙස කතානායකවරයා උපදෙස් දී ඇත.

ඒ කටයුතු වෙනුවෙන් කතානායක නිල නිවස වටා පිහිටි   ජලාශයේ ජලය පමණක් යොදාගන්නා ලෙසත් ජලය  ගැනීමට මෝටරය ක්‍රියාත්මක කිරීම සඳහා   සූර්යය කෝෂ යොදා යොදාගන්නා ලෙසත් ඔහු වැඩිදුරටත් උපදෙස්දී ඇතැයි දැනගන්නට ඇත.

මේ අනුව මෙම උපකරණ මිලදී ගැනීම සඳහා මේ දිනවල කටයුතු කෙරෙමින්  පවතින බව දැනගන්නට ඇත.