කතරගම වාර්තාකරුට මරණ තර්ජන


කතරගම තම්මැන්නාවේ මැණික් ඉඩම් ආසන්නයේ ගලපිටගල අසපුවට යෑමට බදාදා (7) සවස ත්‍රිරෝද රථයකින් ගිය ලංකාදීප මාධ්‍යවේදී කේ.ඩී. දේවප්‍රියට යුද හමුදාවේ ලුතිනන් කර්නල්වරයකු වෙඩි තබා මරණ බවට තර්ජනය කැර  පහරදීමට හා දුරකථනය පැහැර ගැනීමට තැත් කළැයි කතරගම පොලිසියට ද පැමිණිල්ලක් කරමින් ජනාධිපතිවරයාට ද ලිපියකින් දන්වා ඇත. කාවන්තිස්ස යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ආර්.බී.සී.යූ.කේ. රත්නමලල මහතා තමනට තර්ජනය කළ බව ද ලිපියේ සඳහන් වේ. ‘‘ තෝ දැනගනින් අපි ආමි. අපිට ඕනෑ දෙයක් කළ හැකියි. මේ පළාතේ වීඩියෝ කරන්න, පොටෝ ගන්න පත්තර වාර්තාකාරයන්ට එන්න ඉඩ දෙන්නේ නෑ. මැරුම් නොකා පලයන්‘‘ යැයි තර්ජනය කළ බවත් ‘‘ ආයෙත් මේ පළාතට වාර්තාකාරයන් ආවොත් වෙඩි තියනවා. ඒක මතක තියාගනින්‘‘යැයි කර්නල් තර්ජනය කළ බවත් ඔහු පොලිසියට කියා ඇත. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිහාල් හපුආරච්චි පැවැසුයේ මේ ගැන සොයා බලන බවයි.