වසර 2243 ක ඉතිහාසයකට උරුමකම් කියන ලොව ඇති එකම සර්ව ආගමික ස්ථානයක් ලෙස සැලැකෙන කතරගම පුදබිම රථ වාහන ගාලක් බවට පත් වෙමින් පවතී.කතරගම පුදබිම පාලනය කරනු ලබන ආයතන රැසක් පැවතිය ද කිසිදු ආයතනයක් වගකීම බාර ගන්නා බවක් නොපෙනේ.
දේවාල භූමියටම සිය රථ වාහන වලින් පැමිණ පා ගමනින් යන වන්දනාකරුවන්ද යට කරමින් සිය පුජා දෙවියන්ට තැබීමට හුරු වීම නිසා මේ දිනවල කතරගම පුජා භුමියට පැමිණෙන රථ වාහන දිහා බලන අයකුට 1819 මෙන් කතරගම පුජා භූමියත් නගරයත් වෙන්ව හඳුනා ගැනීමට නොහැකි බව වන්දනාකරුවන් පවසති.පසුගිය 21 වැනි දා කිරිවෙහෙර අභියස දී මහනුවර ප‍්‍රදේශයේ කුඩා දරුවෙකු ඇතුළු පිරිසක් කාරයෙන් යට වී බරපතල ලෙස තුවාල සිදු විය. කතරගම ජනාධිපති විද්‍යාලයේ 11 වසර සිසුවෙක් ද දහම් පාසල් ගොස් එද්දී ති‍්‍රරෝද රථයක ගැටී මේ දිනම තුවාල සිදුවුයේ පුජා භුමියේ දීය.
වයෝවෟද්ධ අයකු හා අාබාධිතයින් සඳහා පමණක් අවසරපත් දී පුජා භුමියට රථ වාහන වලින් ඇතුළුවීමට අවස්ථාව ලබා දි තිබු නමුත් මේ වන විට විවිධ අය විසින් රථ වාහන රැසක් ඇතුළු කිරිම නිසාත් දේවාල භුමියේ සිටින ජංගම වෙළඳුන් නිසත් අයාලේ යන ගවයින් නිසාත් මේ රටේ රාජ්‍ය ආයතනයකට අයත් නොවූ ස්ථානයක් ලෙස කතරගම පුදබිම පත්ව තිබේ.
රාජගිරියේ සිට පැමිණි දිලූම් රණසිංහ මහතා පැවසුවේ අද අපිට හරිම දුකයි. කතරගම දේවාලයට එන හැම තැනම කරදරකාරී යාචකයින්ගෙන් හිරිහැර වෙනවා. වෙනදා මල් විකුණන ළඳුන්ගේ හඬ විතරයි අපිට ඇහුනේ. අද එන්න වඬේ ගන්න දොදොල් ගන්න එන්න ලොතරැයි ගන්න එන්න කියලා ඇහෙන සද්ද වැඩි වෙලා තියෙනවා . අපි කතරගම පුදබිමට එන්නේ නිස්කලංකව වැඳ පුදා ගන්න .දැන් ඒ නිහඩ සිතුවිලි වලින් වදින්න බැරි තරමට පුජා භුමිය පත් වෙලා. ඒ වාගේම රථ වාහන වේගයෙන් යනවා. මේවා පිළිබඳව වගකිව යුතු අය සොයා බැලීම සිදු කළ යුතුයි. නැත්නම් කතරගම දෙවියෝ කෝප වෙලා රටට අවැඩක් වෙනවා. අපි අහලා තියෙනවා යැයි දිලූම් රණසිංහ මහතා කිරිවෙහෙරට යන මගදී පැවසිය.
මේ සම්බන්ධව කතරගම පොලිසියේ නිළධාරියකු පැවසුවේ කතරගම පොලීසියෙන් කිසිදු බස් රථයකට හෝ වෙනත් ලොකු රථ වලට අවසර නොදෙන බවත් මේ රථ වාහන අයත් පිරිස් කතරගම සිටින ආයතන ප‍්‍රධානීන් වීම නිසා පොලිස් නිළධාරින්ටද බොහෝ විට අපහසුතා ඇති වෙන බවයි.
රුහුණු කතරගම මහා දෙවාලයේ බස්නායක නිළමේ ඩී පි කුමාරගේ මහතා පැවසුවේ 'දේවාලයේ කාර්යාලයෙන් අවසරපත් දෙන්නේ අබාධිතයකුට එන්න පමණයි. එයට අමතරව දේවාලයේ දේව දානයට එන බැතිමතුන්ට අවශ්‍ය බඩු රැගෙන ඒමට අවසරය දීලා තියෙනවා. පුජා භුමියේ ගවයින් ඇල්ලීම කරන්න ඕනෑ. කතරගම ප‍්‍රාදේශිය සභාව අනවසර වෙළදුන් හා බැතිමතුන්ට හිරිහැර වෙන ජංගම වෙළඳුන් ඇල්ලීම භෞතික සැළසුම් දෙපාර්තමේන්තුවේ ආරක්‍ෂක අංශය සිදු කළ යුතු වැඩක්. මම දේවාලයේ බස්නායක නිළම් ලෙස දේවාල භුමිය පාලනය කරනවා පමණයි . මට බැහැ රථ වාහන එන එක නතර කරන්න . අද කතරගම පුජා භුමිය ආයතන කීපයක් පාලනය කරන නිසා දැඩි අර්බුදයක්ව පවතිනවා . යම් වැරදි කි‍්‍රයා ඇති වන විට තමන්ගේ වගකීම් වලින් ඈත් වී අපිට අයිති නැහැ කියලා නිළධාරින් කියනවා. ජනාධිපතිතුමා හා අගමැතිතුමා සමඟ සාකච්ඡා කරලා දේවාල භුමිය එක ආයතනයකට පාලනයට ගන්න කියලා ඉල්ලීමක් කරනවා" යැයි කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩි පි කුමාරගේ මහතා පැවසිය.














