කතරගම දෙවොලෙන් මොණරාගලට හෘද රෝග ඒකකයක්


(අංජුල මහික වීරරත්න)

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ අරමුදලෙන් මොණරාගල දිස්ත්‍රික් මහ රෝහල සඳහා හෘද රෝග ඒකකයක් ඉදිකිරීමේ කටයුතු  ආරම්භ කර තිබේ.

රුහුණූ කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිල්ෂාන් ගුණසේකර මහතාගේ සංකල්පයක් අනුව මෙම හෘද රෝගී ප්‍රතිකාර වාට්ටු සංකීර්ණය ශ්‍රී ලංකා යුධ හමුදාවේ ශ්‍රම දායකත්වය යටතේ ඉදිකිරීමට කටයුතු යොදා ඇත.  

මහල් 03 කින් යුතුව ඉදිකෙරෙන මෙම වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් වැඩකටයුතු ආරම්භ කිරීම සදහා මුල්ගල තැබීම රුහුණූ කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිල්ෂාන් ගුණසේකර මහතාගේ ආරාධනයෙන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහත්වරුන්ගේ  සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

මෙම අවස්ථාවට එක් වෙමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන මහතා කියා සිටියේ පසුගිය රජයන් පැවැති  2004 සහ 2005 කාලයන් හි රෝහලේ සංවර්ධන කමිටුව නියෝජනය කරමින් රෝහලේ සංවර්ධනයට විවිධ අදහස් යෝජනා ඉදිරිපත් කළ ද එම කටයුතු සිදු කර ගත නොහැකි වූ බවයි.