කතරගම නගරයේ අනවසර ඉදිකිරීම් යැයි සැලකෙන කඩ 200ක් පමණ නාගරික සංවර්ධන අධිකාරියෙන් ඉවත් කිරීමට යාමේදී කඩ හිමියන් සමග උණුසුම් වාතාවරණයක් ඇති විය.
කතරගම නගරයේ වසර 20ට වැඩි කාලයක් මෙම වෙළඳුන් තම ජීවිකාව පවත්වාගෙන යන අතර මොවුනට සුදුසු ස්ථාන ලබා නොදීම නිසා මේ ආකාරයට කතරගම නගරයේ කඩ සාදාගත් බවත් වෙළෙන්දෝ පවසති.
තම කඩ වෙනුවෙන් ප්‍රාදේශිය සභාවට වසරක් පාසා කුලී ගෙවන බවද ඔවුහු කියති. ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ඔවුනට සාධාරණයක් ඉටුකර දෙන ලෙසයි.
මෙම ස්ථානයට පැමිණි කතරගම කිරි වෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ධ හිමියන් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමග සාකච්ඡා කර ගැටළුව විසඳීමට දින දෙකක කාලයක් ලබාගන්නා තෙක් ඉවත් කිරීම් නවත්වන ලෙස ඉල්ලා සිටීම නිසා මෙම තත්ත්වය සමනය විය.
කතරගම පොලිස් ස්ථානාධිපති උපාලි කාරියවසම් මහතා ද පැමිණ මෙම ආරවුල විසඳීමට උදව් විය.





