කතක් ඝාතනය කළැයි යුද හමුදා සෙබලා අත්අඩංගුවට


 

( ෂේන් සෙනෙවිරත්න)

අලවතුගොඩ පොලිස් වසමේ පල්ලේගම ඇල්ලේකඩේ ප්‍රදේශයේ නිවසක රාත්‍රී කාලයේ තනිව සිටි 26 හැවිරිදි විවාහක කාන්තාවක ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාවේ සක්‍රීය සේවයේ නියුතු පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි .

එම කාන්තාවගේ සැමියා රාත්‍රී මළගෙදරක ගොස් සිටියදී ඉතා අභිරහස් ලෙස මෙම කාන්තාව ඝාතනයකොට එම නිවස අසල වෙල් යායක මඩ වගුරක දමා තිබියදී ප්‍රදේශවාසීන් ඊයේ(11) දහවල් සොයාගෙන තිබුණි .

එසේ ඝාතනය කොට තිබුණේ ධනුකා මධුවන්ති ජයතිලක (26) නැමැති කාන්තාවකි .

අලවතුගොඩ පොලීසියට මහත් අභිරහසක් වූ මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙකු හෝ අත්අඩංගුවට ගැනීමට උපකාරී වී ඇත්තේ පොලිස් නිල සුනඛයෙකි .

එම පොලිස් නිල සුනඛයා ඝාතනය සිදු සිදු වූ ස්ථානයේ සිට කිලෝමීටර් තුනක් පමණ ගොස් අත්අඩංගුවට ගත් සැකකාර යුද හමුදා නිලධාරියාගේ නිවසට ගොස් සැකකරු සිටි කාමරයටම ගොස් හින්දගත්බ ව පොලිසිය කියයි .

අත්අඩංගුවට ගත් සැකකරු 38 හැවිරිදි වියේ පසුවන අතර ඔහු හමුදා සේවයේ සිටියදී වෙඩි වැදී තුවාල සිදුවීම හේතුවෙන් යුද හමුදාවේ සැහැල්ලු රාජකාරි වල නිරතව සිටින පුද්ගලයකු බවත් ඔහු අවස්ථා කිහිපයකදීම මෙම කාන්තාවට විවිධ යෝජනා සිදු කොට ඇති බවට ද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ .

ඝාතනයට ලක්වූ කාන්තාවගේ සැමියා රාත්‍රී කාලයේ අවමගුල් ගෙදරකට ගොස් ආපසු පැමිණි අවස්ථාවේදී බිරිඳ නිවසේ නොමැති බව දැක ඒ බව සොයා බැලීමේදී නිවසට මීටර් 100 ක් පමණ දුරකින් ඇති වෙල්යායක මඩ ගොහොරුවක ඔබා තිබියදී ඇයගේ මළ සිරුර ප්‍රදේශවාසීන්ට හමුව තිබුණි .

මියගිය කාන්තාවගේ මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබූ අතර අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව ගුණතිලක මහතාගේ මෙහෙයවීමට යටතේ වැඩිදුර විමර්ශන සිදු සිදුකිරීමට නියමිතය .