එංගලන්තයේදී ජූනි මස 6 වැනිදා ආරම්භ වන ‘ශූරයන්ගේ කුසලාන’ ක‍්‍රිකට් තරගාවලිය රටටත් කණ්ඩායමටත් ඉතා වැදගත් වන බැවින් කණ්ඩායමේ විශාල වෙනසක් කිරීමේ අදහසක් නැතැයි ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම එංගලන්තය බලා පිටත්ව යෑමට පෙර ශ්‍රී ලංකා ක‍්‍රිකට් මූලස්ථානයේදී ඊයේ (26) රාත‍්‍රියේ මාධ්‍ය අමතමින් ඇන්ජලෝ මැතිව්ස් මෙසේ පැවසීය.
‘මාලිංග, කුලසේකර, තිසර සහ මා වේග පන්දු යවන්නන් ලෙස පසුගිය කාලේ හොදින් ක‍්‍රීඩා කළා. මෙම තරගාවලිය අපේ රටටත්, කණ්ඩායමටත් ඉතාමත් වැදගත්.. ඒ නිසා කණ්ඩායමේ විශාල වෙනසක් කරන්න බලාපොරොත්තුවක් නෑ. නමුත් අපේ සංචිතයේ 15 දෙනාම ඕනෑම අවස්ථාවක තරගයකට ක‍්‍රීඩා කිරීමේ හැකියාව ඇති ක‍්‍රීඩකයන් වීම නිසා ප‍්‍රශ්නයක් නෑ’’
අයි. පී. එල්. තරගාවලියෙන් පසුව මෙම තරගාවලියට සහභාගි වීම පිළිබඳව කළ විමසුමකදී මැතිව්ස් මෙසේ පැවසීය.
‘‘අයි. පී. එල්. තරගාවලියයි, ශූරයන්ගේ කුසලාන තරගාවලියයි අතර විශාල වෙනසක් තියෙනවා. ඉන්දියාවේ හිටියත්, ශ්‍රී ලංකාවේ හිටියත් අපි ශූරයන්ගේ කුසලාන ඉලක්ක කරමින් පුහුණුවීම් කළා. ඒ නිසා කණ්ඩායමක් හැටියට අපි හොඳ සූදානමකින් ඉන්නවා’’
‘‘ලෝක ක‍්‍රිකට් පිටියේ හොඳම කණ්ඩායම් අට මෙහිදී තරග කරන්නේ, අපේ වේග පන්දු යවන්නන් සාමාන්‍යයෙන් වේගයෙන් පන්දු යවන්නෙ නෑ. අපි අපේ විදියට ක‍්‍රීඩා කළොත් තරගයෙන් තරගය ඉදිරියට යන්න පුළුවන්’’ යැයි මැතිව්ස් වැඩි දුරටත් පැවසීය.
ශ්‍රී ලංකා පිලේ උප නායක දිනේෂ් චන්දිමාල් පැවසුවේ මාස දෙකකට ආසන්න කාලයකින් පසුව සහභාගි වන මෙම තරගාවලිය හොඳ අභියෝගයක් බවත් ඒ සඳහා ශක්තිමත් කණ්ඩායමක් සහභාගි වන බවත්ය.
‘‘අපේ කණ්ඩායමේ ක‍්‍රීඩකයන් රැසක් මීට පෙරත් එංගලන්තයේ ක‍්‍රීඩා කරපු අය, ඒ නිසා අභියෝගය සාර්ථක කරගනිමින් ජයග‍්‍රහණය දක්වා යන්න හැකියාව තියෙනවා’’ යැයි චන්දිමාල් වැඩි දුරටත් පැවසීය.
ශ්‍රී ලංකාව, නවසීලන්තය, ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය ‘ඒ’ කාණ්ඩයේ ක‍්‍රීඩා කරන අතර ඉන්දියාව, දකුණු අප‍්‍රිකාව, පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් ‘බී’ කාණ්ඩයේ ක‍්‍රීඩා කරන අතර පළමු වටයේ තරගවලින් පසු කාණ්ඩ දෙකේ පළමු සහ දෙවැනි ස්ථාන හිමිකර ගන්නා කණ්ඩායම් හතර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබති.
ශ්‍රී ලංකා පිල මේ මස 30 වැනිදා පාකිස්තානයට එරෙහිව පළමු පුහුණු තරගයට සහභාගි වීමට නියමිතය. ශ්‍රී ලංකා පිල සහභාගි වන පළමු තරගය මේ මස 9 වැනිදා නවසීලන්තයට එරෙහිව කාඩිෆ්හිදී පැවැත්වේ.
තරගාවලියේ අවසන් මහ තරගය ජූනි මස 23 වැනිදා පැවැත්වීමට නියමිතය.
(ඡයාරූප: ශාන්ත රත්නායක)
1. මැතිව්ස් මාධ්‍යයට අදහස් දක්වමින්..
2. ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ආගමික වතාවත්වලට සහභාගි වෙමින්..
3. දිනේෂ් චන්දිමාල්ට පිරිත් නූලක් ගැටගසමින්..