කණ්ඩායම් සංගීතයේ දිගු ගමනක් යෑමට සැරසෙන බ්ලැක් ලයන්ස්


2017-02-07-ent-147

කණ්ඩායම් සංගීතයේ දිගු ගමන් යෑමට සැරසෙන අම්පාර ප්‍රදේශයේ බ්ලැක් ලයන්ස් කණ්ඩායම ඔවුන්ගේ ගීත කිහිපයක් මේ වනවිට සමාජ ජාල වෙබ්අඩවිවලට එක් කර තිබේ. ආධුනික සංගීත කණ්ඩායමක් වුවද ඔවුන්ට ආවේණික ශෛලින්ට අනුගත වෙමින් කණ්ඩායම් සංගීතය වෙනස් ආරකට රැගෙන යෑමට සැරසෙන බව පවසයි. ඔවුන්ගේ කණ්ඩායම සම්බන්ධයෙන් කතාබස් කිරීමට ‘සාරවිට’ සමග ඔවුන්ගේ කීබෝඩ් වාදක අරවින්ද සම්බන්ධ කරගත්තෙමු.

 

ඔබේ සංගීත කණ්ඩායම ගැන පුංචි හැඳින්වීමක් කරන්න?

2017-02-07-ent-148බෑඩ් එකේ නම බ්ලැක් ලයන්ස්. දැනට බීට් බෑන්ඩ් ස්ටයිල් එක තමයි ප්ලේ කරන්නේ. පසුගිය දිනවල සිට එකොස්ටික් ස්ටයිල් එකට ප්‍රැක්ටිස් කරන්නත් පටන්ගත්තා.

 

බෑන්ඩ් එක ආරම්භකර කොපමණ කාලයක්ද? සාමාජිකයන් ගණන කීයද?

බෑන්ඩ් එක පටන් ගත්තේ 2014 ජූලි මාසයේදී. සාමාජිකයන් 9 දෙනෙකු සිටිනවා.

 

මෙපමණ සාමාජිකයන් පිරිසක් තෝරාගැනීමට හේතුව කුමක්ද?

ගීත ගායනය සඳහා තුන් දෙනෙකු සිටිනවා. අනිත් හය දෙනා වාදන ශිල්පීන්.

 

සාමාජිකයන් ගැන හැඳින්වීමක් කළොත්?

ඩ්‍රම්ස් පැතුම්, ඕටර් පෑට් චන්දික, බේස් ගිටාර් ප්‍රභාත්, රිදම් ගිටාර් නුවන්, ලීඩ් ගිටාර් හර්ෂන, ප්‍රබෝධ, බුද්ධික, පුබුදු කියන තුන්දෙනා තමයි ගායන කටයුතු කරන්නේ. මම කීබෝඩ් ප්ලේ කරනවා. මගේ නම අරවින්ද.

 

සංගීත කණ්ඩායමක් පටන්ගැනීමට අදහස් කළේ ඇයි?

අපි 2011 වගේ ඉඳලා තුන්දෙනෙකුගෙන් සැදුම්ලත් (ත්‍රීපීස්) කණ්ඩායමක් ලෙස වාදන කටයුතු කළා. පසුව අපි හිතුවා අම්පාර ප්‍රදේශයේ සංගීත කණ්ඩයම් නැති නිසාත්, අපේ දෙයක් කරන්න බලාපොරොත්තුවක් තිබුණ නිසාත් සංගීත කණ්ඩායමක් පටන්ගැනීමට.

 

පාසල් කාලයේ සිටම සංගීත කටයුතු සඳහා උනන්දුවක් තිබුණද?

පාසල් කාලයේ ඉඳලම සංගීත ප්‍රසංගවල කටයුතු කළා. ඒ යහළුවන් පිරිසම තමයි දැනටත් කණ්ඩායමේ ඉන්නෙ. අපිට උපතින් ලද දායාදයෙන් තමයි අපි කටයුතු කරන්නේ.

 

ඔබගේ කණ්ඩායමට ලැබෙන ප්‍රතිචාර සහ වැඩකටයුතු පිළිබඳව කතාකළොත්?

නැගෙනහිර පළාතෙන් සංගීත කණ්ඩායමක් බිහිවීමක් සිදුනොවන නිසා අපිට ගොඩක් හොඳ ප්‍රතිචාර තිබෙනවා. අපි අම්පාරෙන් පිටත් ප්‍රසංග සඳහා සහභාගී වෙලා තියෙනවා. ඒ සහභාගී වූ ප්‍රසංගවලිනුත් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. දැනට මෙය වෘත්තීය මට්ටමට ගෙන ඒමට කටයුතු කරගෙන යනවා.

 

මේ සඳහා පවුලේ අයගෙන් ලැබුණ සහයෝගය මොනවගේද?

අපේ කණ්ඩායමේ ගොඩදෙනෙක් අධ්‍යාපනයෙන් ඉදිරියට ගිහින් ඉන්නේ. මම උසස් පෙළ සඳහා වාණිජ විෂය තමයි කළේ. මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබපු කළමනාකරණ උපාධිධාරියෙක්. නමුත් දෙමව්පියන්ගෙන් බලපෑමක් තිබුනෙ නෑ මේ මේ දේවල් කරන්න කියලා. අපි කැමති දේ කරන්න ඉඩ දුන්නා.

 

සංගීත කණ්ඩායමක් ලෙස ඔබලාගේම ගීත නිර්මාණයන් එළිදක්වා තිබෙනවාද?

අපි දැනට ගීත දෙකක් නිර්මාණය කර තිබෙනවා. එය නිර්මාණය කර තිබෙන්නේත් අපිම හදගත්තු ස්ටූඩියෝවක. එක ගීතයක් අන්තර්ජාලය සඳහාත් නිකුත්කරලා තියෙනවා. තවත් ගීතයක් රෙකෝඩ් කරමින් ඉන්නෙ.

 

කණ්ඩායමක් ලෙස ඉදිරි බලාපොරොත්තු ගැන සඳහන් කළොත්?

ඉදිරියේදී අපේම සවුන්ඩ් සෙටප් එකකට යන්න බලාපොරොත්තු වෙනවා. එකොස්ටික් සංගීතයෙන් දෙයක් කරන්න හිතාගෙන ඉන්නවා. අපි සංදර්ශනවලින් උපයාගත් දෙයින් පාසල් සඳහා සංගීත උපකරණ පවා අපි අරන් දීලා තිබෙනවා. අපිට ලැබෙන සුළු දෙයින් වුනත් අපි ආධාර කටයුතු කරගෙන යනවා.

 

ඔබ කණ්ඩායමේ අදහස මුදල් හම්බකිරීමේ පරමාර්ථයට එහාගිය එකක්ද?

ඔව්, ඇත්තටම හම්බකරපු දෙයක් නැති තරම්. මුදල් හම්බකිරීමම නෙවෙයි. අපිට සංගීතයෙන් ඊට වඩා දෙයක් කරන්න පුළුවන්. අපි ඒ දේවල් කරලත් තියෙනවා. ඉදිරියටත් ඒ දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා.

 

ලංකාවේ ඇති සංගීත කණ්ඩායම් අතරින් ඔබලාගේ කණ්ඩායම කැපීපෙනෙන්න ඒ දේවල් හේතුවක්ද?

ඒ දෙවල් නිසා සංගීත කණ්ඩායම ජනප්‍රිය වුණා කියන්නත් අමාරුයි. අපි යම්කිසි තත්ත්වයකට ආවට පස්සේ තමයි මිනිස්සු අපිට මුදලක් ගෙවන්න වුනත් කැමති වුනේ. අපේ නම හදාගන්න අපි අවුරුද්දක් විතර ෆ්‍රී ෂෝස් කළා හන්දි ගා‍ණේ. ඊට පස්සේ අපිට ලැබුණ මුදල්වලින් ප්‍රමාණයක් අපි සමාජසේවා කටයුතු සඳහා යොදාගත්තා. හැම වෙසක් පෝයට දන්සලක් පවා දෙනවා.

 

මේ දේවල් සඳහා ඔබට අතහිතදුන් පිරිසක් ඉන්නවාද?

ඔව් අනිවාර්යයෙන්ම, අපිට මුල්කාලයේ අපේම කියලා සංගීත භාණ්ඩ තිබුණෙ නෑ. එවන් අවස්ථාවක අපිට උදව්කළ මනෝජ් අයියාව මතක් කළ යුතුයි. එයාගෙ සංගීත භාණ්ඩවලින් තමයි අපි පුහුණුවීම් කළේ. සුසන්ත අයියා, අපේ කණ්ඩායමේ කළමනාකරු භාසුර ඇතුළු අපට උදවුකළ සියලු දෙනාවම මතක් කර සිටිනවා.

 


2017-02-07-ent-146
2017-02-07-ent-1492017-02-07-ent-150