කණ්ඩලම වැව් රක්ෂිතය අල්ලයි


කණ්ඩලම වැවේ ජල ගිල්ම ප‍්‍රදේශයේ පස් දමා ගොඩකැර ස්ථිර ගොඩනැගිලි සහ වැසිකිළි පද්ධතියක් ඉදිකැරගෙන යතියි ගොවි සංවිධාන සහ ධීවරයෝ පෙන්වාදෙති.

මහවැලි අධිකාරිය යටතේ මෙම වැව පවතින අතර මෙම ඉදිකිරීම් පිළිබඳව වැව භාර මහවැලි නිලධරයන් නොදනිතියි කියති.

කණ්ඩලම වැනි වැවක මීටර සියයක් රක්ෂිතයක් ලෙස සැලකේ.

කණ්ඩලම 40 කොටසේ මේ ඉදිකිරීම් නොපෙනෙන්නට ටකරන් ආවරණයක් සවිකැර ඇතැයි ද ධීවරයෝ කියති.
විශාල පස් කඳු ගොඩ ගසා ජල ගිල්ම සීමා කැර ඇති බවත් එම පස් ටිකෙන් ටික වැවට දියකැර යවන බවත් ඔවුහු කියති.
ඔරුවක නැගී ඉදිකිරීම් සිදුකරන අයුරු දැකගැනීමට අපට හැකිවිය.
ඔවුන් සඳහන් කළ පරිදි එම ඉදිකිරීම සිදුවන අයුරුත් වැව ඉස්මත්තේ විශාල පස් ගොඩ ගසා පුරවා ඇති අයුරුත් මේවා නොපෙනෙන සේ ටකරන් ආවරණය කැර ඇති අයුරුත් ගොඩගසා ඇති පස් වැවට සේදී ගොස් ඇති අයුරුත් දැකගත හැකිවිය.
අප මේ පිළිබඳව ජලාශ භාර ඉංජිනේරු එම්.එම්.එල්. හේරත් මහතාගෙන් විමසීමේදී කියා සිටියේ මෙම ඉදිකිරීම් පිළිබඳව තමන්ට තොරතුරු ලැබී ඇති බවයි. කඩිනමින් ඒ පිළිබඳව සොයා බලන බව හේ පැවසීය.
කණ්ඩලම අමායා ලේක් සංචාරක හෝටලයේ සාමාන්‍යාධිකාරී එස්. ගුණතිලක මහතා කියා සිටියේ පැරණි ඉදිකිරීම් අලූත්වැඩියාකිරීම් කරන බවයි. ”මේ ස්ථානයේ කැපූ පස් ගොඩගැසූ බව ඇත්ත. අපි ඒක ඉවත් කරන්න කටයුතු කරන්නම්.”