කටේ කලළ ඉවත් කරයි


වර්ධනය නොවී මියගිය දරු කලළ දෙකක් මුඛයේ එල්ලෙමින් උපත ලැබූ දැරියක බේරාගැනීම කළ සැත්කමක් සාර්ථක වූ බව කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු කියති.

මහමෝදර රෝහලේ දී උපත ලැබූ මේ දැරියට සැත්කම කර ඇත්තේ උපත ලබා තුන්වැනි දිනදීය. කුසේ සිටින දරුවාගේ යම් ගැටළුවක් ඇති බවට වෛද්‍යවරු සැක කළ අතර මව සිසේරියන් සැත්කමකින් දරුවා බිහිකිරීමට කටයුතු කැර තිබිණි.

උපත ලැබුවේ දැරියකි. ඇගේ කටේ විශාල ගෙඩියක් එල්ලෙමින් තිබිණි. මේ හේතුවෙන් ඇගේ කට වැසිය නොහැකි විය. දැරියට මව් කිරි බීමට ද හැකියාවක් තිබුණේ නැත. ඇය නොමේරූ ළදරු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කළ වෛද්‍යවරු ඇගේ උදරයෙන් බටයක් යවා මව්කිරි දිමට කටයුතු කළහ.

පසු දින කරාපිටිය රෝහලේ දී දැරිය පරීක්ෂාකළ වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ ඇය ශල්‍යකර්මයකට යොමු කළ යුතු බවයි. ඒ ඇය ඉපදී තුන්වැනි දිනයේ දී ළමා ශල්‍ය වෛද්‍ය විශේෂඥ එස්.කස්තුරි හා මුඛ හනු හා මුහුණ පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඩී.කේ.ඩයස් මහතා ශල්‍ය කර්මය සිදුකළහ. නිර්වින්දන කටයුතු සිදුකරන ලද්දේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ප්‍රශාන් කුරේ මහතා විසිනි.

ශල්‍ය කර්මයෙන් ගෙඩිය ඉවත් කළ පසු පෙනී ගියේ එය ගෙඩියක් නොව වර්ධනය නොවූ කලළයක් බවයි. එම කොටස් වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කළ අතර එහි එක් කලලයක් නොව වර්ධනය නොවූ කලල දෙකක් ඇති බව දැනගන්නට ලැබී ඇත.

වෛද්‍යවරු පවසන්නේ මෙය ඉතා දුර්ලභ තත්ත්වයක් බවයි. සැත්කමින් පසු දැරිය ඉතා හොඳින් සිටින බවත් දැන් මවගෙන් කිරි උරා බොන බවත් වෛද්‍යවරු කියති. එසේ වුව ද ඇගේ උඩු තල්ල දෙකට බෙදී ඇති බැවින් ඇයගේ කථන හැකියාව වර්ධනය කිරීම සඳහා වසර එකහමාරකින් යළි උඩු තල්ලේ සැත්කමක් කළ යුතු බවත් වෛද්‍යවරුන්ගේ නිගමනයයි.

Baby 02 Baby 03 Baby 04 Baby 05 - Copy