කටුනායක වෙළෙඳ කළාප සේවකයින්ට පෞද්ගලික රථවාහන තහනම්


(ටී.කේ.ජී.කපිල )

කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවකයින්  හෙට(19) සිට තම සේවා ස්ථාන වෙත පැමිණිය යුත්තේ තම පෞද්ගලික රථවාහන වලින් නොව , කර්මාන්තශාලාව විසින් සපයන ප්‍රවාහන මාධ්‍යයෙන් පමණක් බව කටුනායක පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ මහතා පවසයි.
 
කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවකයින් තම සේවා හැදුනුම්පත ඇදිරි නීති බලපත්‍රයක් සේ යොදා ගෙන , සේවයට පැමිණෙන මුවාවෙන් වෙනත් ප්‍රදේශ වෙත ගමන් කර සිටියදී පොලීසිය විසින් පසුගියදා අත් අඩංගුවට ගෙන තිබුණි .

මේ නිසා කොරෝනා වෛරසය රට පුරා පැතිර යාමේ අවධානමක් මතු වී ඇති නිසා උසස් පොලිස් නිලධාරීන් මෙම තීරණය ගෙන ඇතැයි කටුනායක පොලීසියේ ස්ථානාධිපතිවරයා පැවසීය.

ඒ අනුව හෙට(19)  දින සිට පෞද්ගලික රථවාහන වලින් පැමිණෙන සියලු සේවකයින් කර්මාන්තශාලාව විසින් ප්‍රවාහන පහසුකම් සළසා දෙන ලෙස කම්හල් හිමියන් පොලීසිය විසින් දැනුවත් කර තිබේ .

එසේම කටුනායක නිදහස් වෙළෙඳ කළාපය ආසන්නයේ පිහිටි නේවාසිකාගාර වල නැවතී සිටින සේවකයින් අවශ්‍ය නම් පා ගමනින් ද සේවය සදහා කර්මාන්තශාලා වෙත පැමිණිය හැකි බව ද කම්හල් හිමියන් ද එම සේවකයින් වෙත දැනුම් දී තිබේ .