ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා ) සමාගම වාර්ෂිකව පවත්වන නත්තල් වෙළඳ සැණකෙළිය මෙවරද 2014/2015 වර්ෂය සඳහා නිල වශයෙන් ආරම්භ කළ බව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සේද මාවතේ පැවති උත්සවයදී අද දහවල් නිවේදනය කළේය.
ගුවන්තොටුපොළ හා ගුවන්සේවා ශ්‍රී ලංකා සමාගම 2010 දෙසැම්බර් මාසයේ පළමු වරට ආරම්භ කර ඇති වාර්ෂික නත්තල් වෙළඳ සැණකෙළිය මෙවර පැවැත්වෙන්නේ පස්වන වරටය.
මෙවර නව මුහුණුවරකින් පැවැත්වෙන නත්තල වෙළඳ සැණකෙළියේ ජයග්‍රහණයන් උරගා බැලීමට මෙරට ප්‍රධාන ගුවන් දොරටුව වන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හරහා මෙරටට පැමිණෙන හා මෙරටින් පිටවන ගුවන් මගීන් හට මෙන්ම මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ භාවිතා කරන ගුවන් මගීන්ටද අවස්ථාව ලබා දී ඇත.
ගුවන්තොටුපොළෙහි පැමිණීමේ හා පිටත්වීමේ පර්යන්තයන්හි තීරු බදු රහිත අලෙවිසැල් සමඟ ඇතිකරගත් සහයෝගිතාවයෙන් මෙම විශේෂ ප්‍රවර්ධන වැඩසටහන පැවැත්වේ. 2014 දෙසැම්බර් 01 ආරම්භ වු මෙම නත්තල් වෙළඳ සැණකෙළිය සංචාරකයින්ට ආකර්ෂණීය තෑගි පිරිනමමින් 2015 ජනවාරි 31 තෙක් පුරා මාස දෙකක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ගුවන් තොටුපොළවල් දෙකෙහිම ඇතුලත්වීමේ පර්යන්තයන්හි හෝ පිටත්වීමේ පර්යන්තයන්හි තීරුබදු රහිත අලෙවි සැලකින් අමෙරිකානු ඩොලර් 10 හෝ ඊට වැඩි වටිනාකමකින් යුත් මිලදී ගැනීමක් කරනු ලබන සෑම ගුවන් මගියෙක්ම මෙම මහා දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලබති.
මෙහි ප්‍රථම ත්‍යාගලාභියාට අයිඩියල් චෙරි ඔටෝ මෝබයිල්ස් පුද්ගලික සමාගම විසින් පිරිනැමෙන නවතම චෙරි ජේ3 වර්ගයේ මොටර් රථයක් හිමිවන අතර ඊලග ජයග්‍රාහකයන් සිව් දෙනෙකුට මුදලින් රුපියල් ලක්ෂ පහක්, රුපියල් දෙලක්ෂ පනස් දහසක්, රුපියල් එක් ලක්ෂ පනස් දහසක් සහ රුපියල් ලක්ෂයක් ත්‍යාග වශයෙන් පිරිනමනු ලැබේ.
තවත් වාසනාවන්ත ජයග්‍රාහකයින් පස් දෙනෙකුට සිංගර් ශ්‍රී ලංකා ඩියුටි ෆ්‍රී ආයතනයෙන් සිංගර් ලැප්ටොප් පරිඝණකයක්, අබාන්ස් ඩියුටි ෆ්‍රී ආයතනයෙන් එල්.ජී දොර දෙකේ ශීතකරණයක්, සොෆ්ට් ලොජිස්ටි ඩියුටි ෆ්‍රී ආයතනයෙන් ස්ව්‍යංක්‍රීය රෙදි සෝදන යන්ත්‍රයක්, සිංහගිරි ඩියුටි ෆ්‍රී ආයතනයෙන් අගල් 40 සැම්සුන්ග් එල්.ඊ.ඩී රූපවාහිණී යන්ත්‍රයක්, මෝරිච් ට්‍රෙිඩින් ඩියුටි ෆ්‍රී ආයතනයෙන් ඇරිස්ටන් ලිප් 5 උදුනක් ආදී වශයෙන් වටිනා ත්‍යාග පිරිනැමීමට නියමිතය.
පිටත්වීමේ පර්යන්තය තුලදී ඇමරිකානු ඩොලර් 50 ට වැඩි වටිනාකමින් යුත් සෑම මිලදී ගැනීමක් සඳහාම ‘ගෘහස්ථ ගොල්ෆ්‘ ක්‍රීඩාවක් මගින් දිනපතා ක්ෂණික ත්‍යාග සඳහා දිනුම් අවස්ථා ලබා ගැනීමටද ඉඩ සලස්වා ඇත.
මෙම උත්සව සමයේදී තීරුබදු රහිත සාප්පු සංකීර්ණයෙන් ඇමරිකානු ඩොලර් 10 හෝ ඊට වැඩි වටිනාකමින් යුත් භාණ්ඩ මිලදී ගෙන ගුවන්තොටුපොළ නත්තල් වෙළඳ සැණකෙළියේ වාසනාවන්ත ජයග්‍රාහකයෙකු වන්නට සියලූම ගුවන් මගීන්ට ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම ආරාදනා කර සිටී.
අද පැවති උත්සවයට ගුවන්තොටුපොළ හා ගුවන්සේවා ශ්‍රී ලංකා සමාගමේ සභාපති කර්නල් ප්‍රසන්න වික්‍රමසුරිය, විධායක අධ්‍යක්ෂක යොහාන් ජයරත්න, ගුවන් තොටුපොළ කළමනාකාරී එච්.එස් හෙට්ටිආරච්චි, අළෙවි ප්‍රධානී රොහාන් මනුකුලසුරිය මහතා ඇතුළු එහි අළෙවි ප්‍රවර්ධන අංශයේ නිලධාරීන්ද, අයිඩියල් චෙරි ඔටෝ මොබයිල් ආයතනයේ නියෝජ්‍ය සභාපති අරවින්ද සිල්වා, නේෂන් ට්‍රස්ට් බැංකුව වෙනුවෙන් ජෙරොම් පෙරේරා, ඩයලොග් සමාගම වෙනුවෙන් හර්ෂ සමරනායක හා අමාලි නානායක්කාර, තීරු බදු රහිත සාප්පු හිමියන්ගේ සංගමයේ සභාපති නිමේෂ් උදේෂි යන මහත්වරුන් ඇතුළු තීරු බදු රහිත සාප්පු හිමියෝ රැසක් සහභාගී වුහ.













