කටගස්දිගිලියේ පුරාවිද්‍යා රක්ෂිතයක නිවාස ඉදිකරලා


(දයාරත්න ඇඹෝගම)

කහටගස්දිගිලිය රත්මල්ගහවැව මාර්ගයේ කුරුක්කුරාගම හා අළුත් දිවුල්වැව මුස්ලිම් ගම්මානවලට මායිම්ව පිහිටා ඇති නැට්ටුක්කන්ද ( නැටුම් කන්ද ) පුරාවිද්‍යා රක්ෂිතය ආක්‍රමණය කර නිවාස 100 කට ආසන්න සංඛ්‍යාවක් ඉදිකර තිබේ.

කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 201 කොක්මඩුව ග්‍රාම නිළධාරී වසමේ පිහිටි නැට්ටුක්කන්ද නොඑසේනම් නැටුම්කන්ද පුරාවිද්‍යා රක්ෂිතය වංශකතාවල සඳහන්වන්නේ  නාගිරිකන්ද  නමිනි.

මෙම පරිශ්‍රය ක්‍රි.ව. 5 වන 6 වන සියවස්වලට අයත් අති පෞරාණික බෞද්ධ ආරාමික භූමි භාගයක් බව එහි ඇති සෙල්ලිපි හා අනෙකුත් පුරාවිද්‍යාත්මක සාධක අනුව ඔප්පු වී ඇති බව පුරාවිද්‍යා මතයයි. එහෙත් මේ වනවිට මේ මුළු භූමියම ආක්‍රමණය කරමින් නිවාස, මාර්ග , පොදු ගොඩනැඟිලි ආදී සියළු ඉදිකිරීම් සිදුවී අවසන්ය. තව තවත් ඉදිවෙමින් ද පවතී.

කටාරම සහිත එක් ලෙනක කොටා ඇති පර්වත ලිපියකින් ( දළ වශයෙන් ) කියැවෙන්නේ අමාත්‍යවරයකු විසින් එම විහාරයට කරන ලද කිසියම් ප්‍රදානයක් පිළිබඳවයි. එම ලිපියේ අක්ෂර රටාව අනුව එය ක්‍රි.ව. 5 වන 6 වන සියවස්වලට අයත්විය හැකි බව පුරාවිද්‍යාඥයින්ගේ මතයයි.

මේ පිළිබඳව කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතාගෙන් විමසූවිට ඒ මහතා මෙසේ පැවසීය.

පුරාවිද්‍යා භූමියේ ඔය ගෙවල් හදලා තියෙන්නේ අද ඊයේ නෙමේ.අවුරුදු ගාණක ඉඳල.කවුරුවත් ඒ ගැන හොයල බලල නෑ.මේක තනිකරම පූජා භූමියක්.මම මිහින්තලේ ප්‍රාදේශීය ලේකම්. කහටගස්දිගිලියේ වැඩ බැලීමක් කරන්නේ.ඒ නිසා ඔය ගැන වැඩි විස්තරයක් මම දන්නේ නෑ.ඒ උනත් දැන් මේ කොට්ඨාසෙ අයිති මට හින්දා මං ඒ ගැන හොයලා බලන්නම්. '

කෙසේ වෙතත් වසර 1500 කට වඩා දිගු ඉතිහාසයක් ඇති මෙවැනි පූජා භූමියකළ පුරාවිද්‍යා රක්ෂිතයක අනවසරයෙන් නිවාස හා මාර්ග ආදිය වසර ගණනාවක් තිස්සේ ඉදිකරමින් තිබීම අදාල අංශවල ඇස නොගැටීම පිළිබඳව ප්‍රදේශවාසීහු විමතිය පළකරති.