කජ්ජාට මාංචු දුන් PC රිමාන්ඩ්


(චන්ද්‍රසේන ගමගේ සහ ගයාන් සුරියආරච්චි)

දරු දෙදෙනාද සමඟ යතුරු පැදියෙන් යමින් සිටියදී නාඳුනන තුවක්කුකරුවන් විසින් වෙඩි තබා ඝාතනය කළ ‘කජ්ජා’ මියගොස් වැටී සිටි ස්ථානයේ තිබු පොලිස් ‘මාංචු’ කුට්ටම් දෙක ඔහුට දුන් බව කියමින් සැකපිට අත්අඩංගුවට ගත් තංගල්ල කොට්ඨාශ රථවාහන අංශයේ කොස්තාපල්වරයා මාර්තු 05 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට වලස්මුල්ල මහේස්ත්‍රාත් නවෝද්‍යා හැන්නදිගේ මහත්මිය අද (21) නියෝග කළාය.

වෙඩි තබා ඝාතනය කළ අනුර විදානගමගේ හෙවත් ‘කජ්ජා’ නමැත්තාගේ මෘතදේහය ආසන්නයේ වැටී තිබු පොලිස් ‘මාංචු’ කුට්ටම් දෙක සම්බන්ධයෙන් කළ විමර්ශන වලදී එම පොලිස් ‘මාංචු’ කුට්ටම් ඔහුට ලබාදී ඇත්තේ සැකකරු බව හෙළි වී ඇතැයි කියමින් තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගත් මහෙස්ත්‍රාත්වරිය සැකකරු රිමාන්ඩ් බාරයට පත් කළාය.

සිද්ධියට අදාළව සැකපිට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ තංගල්ල කොට්ඨාශ රථවාහන අංශයේ කොස්තාපල්වරයකු වශයෙන් කටයුතු කළ වීරකැටිය කැප්පිටියාවේ පදිංචි ඉපිටගම ලියනගේ ජනක ප්‍රසාද් නමැත්තෙකි.

‘කජ්ජා’ නමැත්තාගේ මෘතදේහය ආසන්නයේ පොලිස් ‘මාංචු’ කුට්ටම් දෙකක් වැටී තිබීම සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සිද්ධියට සැකකරුගේ ඇති සම්බන්ධතාවය හෙළි වීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගත් බව කියමින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය.

අනුර විදානගමගේ හෙවත් ‘කජ්ජා’ ඔහුගේ 06 හැවරිදි විදානගමගේ පමති අහස්යා මාදෙව්නි නමැති දියණිය සහ 09 හැවිරිදි  විදානගමගේ උදේස් මාදෙව් නමැති පුත්‍රයා සමඟ ගමන් කරමින් සිටියදී පසුගිය 18 වැනිදා රාත්‍රී 10.15 පමණ මිද්දෙනිය ගල්පොත්තයාය කඩේවත්ත මංසන්ධියේදි නාඳුනන තුවක්කුකරුවන් විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් ‘කජ්ජා’ සහ දියණිය එම ස්ථානයේදීම මිය ගිය බවත් ුකරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පුත්‍රයා ඊට පසු දින මියගොස් ඇති බවත් අධිකරණයට දැනුම් දුන් තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් ‘කජ්ජා’ නමැත්තා මියගොස් වැටී සිටි ස්ථානයේ පොලිස් ‘මාංචු’ කුට්ටම් දෙකක් වැටී තිබීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව දැනුම් දුන්නේය.

ඒ සම්බන්ධයෙනන් කළ විමර්ශන වලදී සැකකාර පොලිස් කොස්තාපල්වරයා ‘කජ්ජා’ නමැත්තා සමඟ මිතුරු කමක් පවත්වාගෙන ගොස් ඇති බව අනාවරණය වු බවත් එම මිතුරුකම හේතූවෙන් සැකකාර කොස්තාපල්වරයා ‘කජ්ජා’ නමැත්තාට මෙම පොලිස් ‘මාංචු’ කුට්ටම් දෙක දී ඇති බව අනාවරණය වු බවත් කී නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කරන හෙයින් සැකකරු රිමාන්ඩ් බාරයට පත් කරන්නැයි ඉල්ලා සිටියහ.

ඉල්ලීම පිළිගනිමින් සැකකරු රිමාන්ඩ් බාරයට පත් කළ මහෙස්ත්‍රාත්වරිය පැමිණිල්ල යළි කැඳවන ලබන 05 වැනිදා විමර්ශන වල ප්‍රගතිය වාර්තා කරන ලෙස පොලිසියට නියම කළාය.

ත්‍රිපුද්ගල ඝාතනයට අදාළව අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් දෙදෙනකු සම්බන්ධයෙන් කරන විමර්ශන කටයුතු අවසන් වීමෙන් අනතුරුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කළේය.